28.8 C
Galle

සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Published:

මෙරට පොදුජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ සේවා රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති මෙම නිවේදනයට ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා අත්සන් තබා ඇත.

මෙම ගැසට් නිවේදනය මගින් ක්ෂේත්‍ර ගණනාවකට අයත් සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, විදුලි බලය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම මින් ප්‍රධාන වේ. එසේම රෝහල්, සාත්තු නිවාස සහ බෙහෙත් ශාලාවල රෝගී නඩත්තුව, ප්‍රතිකාර කිරීම සහ රැකවරණය සම්බන්ධ සියලු සේවාවන් ද මීට ඇතුළත් කර තිබේ.

මගී හා භාණ්ඩ ප්‍රවාහන පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග පවත්වාගෙන යාම මෙන්ම සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම ද අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර ඇත. මීට අමතරව ජලය සැපයීම, ජලාපවහනය, ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධ සියලු කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව මෙම නිවේදනයේ සඳහන් වේ.

විශේෂත්වයක් වන්නේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවාවන් මෙන්ම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ සහකාරවරුන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් ඉටු කළ යුතු සියලු සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබීමයි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා, ගිලන් රථ සේවා, ගිනි නිවීමේ සේවා සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ බැහැර කිරීමේ සේවාවන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

තවද, වාරි මාර්ග, දුරකථන සහ විදුලි සංදේශ සේවා, මාධ්‍ය සම්බන්ධ සේවාවන් මෙන්ම කෘෂි සහ කෘෂි රක්‍ෂණ සේවා ද මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මහජනතාවට කිසිදු බාධාවකින් තොරව මෙම සේවාවන් ලබාදීම සහතික කිරීම රජයේ අරමුණ වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!