28.5 C
Galle

ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්

Published:

ලංකාවේ මරණ පරීක්ෂණ කලාව ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පමණක් ආරම්භ වූවක් නොවන බවත්, උඩරට රාජධාරී සමයේ පවා “වෙල් විදාන” යන තනතුර දැරූ පුද්ගලයා විසින් විසින් මරණ පරීක්ෂණ සිදු කර ඇති බවත් ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර පැවසීය. හෙතෙම මෙසේ පවසා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රථම සංවත්සර උත්සවය ගාල්ල පින්නදූව පැඟිරිහේන රිසෝට් හිදී පැවති අවස්ථාවේදී විශේෂ දේශනයක් පවත්වමිනි.

එහිදී අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද පවසා සිටියේය,

“පුද්ගලයෙකු මියගිය පසු ඔහු දෙස බලා අසල්වැසියන් හෝ පවුලේ අය ඔහුව නොසලකා හැර තිබේද යන්න සොයා බැලීම එකල පවා ක්‍රමවත්ව සිදු කළා. පසුව 1885 වසරේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් හඳුන්වා දුන් “Coroners Act” නීතිය අපරාධ නීති විධිවිධාන සංග්‍රහයට ඇතුළත් වී අද දක්වාම විවිධ සංශෝධන සහිතව ක්‍රියාත්මක වනවා.

මරණ පරීක්ෂකවරයෙකු යනු ප්‍රදේශයේ පිළිගැනීමක් ඇති පුද්ගලයෙක්. එසේම ඔහු නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් පෞරුෂයක් ඇති අයෙකු විය යුතුයි, ඔහු නීතියට පමණක් සීමා නොවී සිය සාමාන්‍ය දැනීම (Common sense) භාවිතා කර තීන්දු තීරණ ගත යුතුයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ පවතින අනතුරු හෝ සත්ව උවදුරු පිළිබඳ අවබෝධය, සිදුවීමක් සාමාන්‍ය මරණයක්ද නැතහොත් අපරාධයක්ද යන්න වටහා ගැනීමට අත්‍යවශ්‍ය වන බැවින් මේ පිළිබඳවද මරණ පරීක්ෂකවරුන් සැලකිලිමත් විය යුතුයි.”

මරණ පරීක්ෂණ ක්‍රියාවලියේදී වෘත්තීය වගකීම සහ විනය පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනාම සමාන පාර්ශවයන් ලෙස සැලකෙන බවත්, වෛද්‍ය විද්‍යාත්මක පාරිභාෂික වචන බොහොමයක් විදේශීය භාෂාවලින් පැමිණ ඇති බැවින් මරණ සහතිකයේ මරණයට හේතුව (Cause of Death) ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එය සිංහලෙන් විස්තර කිරීම වඩාත් යෝග්‍ය බවත් රුවන්පුර මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, විවිධ ආගමික විශ්වාසයන්ට, විශේෂයෙන් මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය චාරිත්‍රවලට ගරු කරමින් කටයුතු කිරීම මරණ පරීක්ෂකවරයෙකුගේ මානුෂීය පාර්ශවය පෙන්නුම් කරන්නක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට එක් වූ රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන මරණ පරීක්ෂණ ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නව තාක්ෂණය භාවිතය අතිශය වැදගත් වන බවයි. ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ වර්ධනයත් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණ පවා භෞතික මැදිහත්වීම්වලින් ඔබ්බට ගොස් නවීන මෙවලම් ඇසුරින් සිදු කළ හැකි මට්ටමට විකාශනය වී ඇති බැවින්, මරණ පරීක්ෂකවරුන් නිරන්තරයෙන් සිය දැනුම වර්ධනය කරගත යුතු බව ඒ මහතා පැවසීය.

රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා

බලපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.ටී. මහානාම, සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමයේ සභාපති අනුර හේරත්, ජාතික සංවිධායක නීතිඥ එම්.ඒ.එම්. ෆර්ෂාන් සහ භාණ්ඩාගාරික විපුල නරසිංහ යන මහත්වරුන් ද මෙහිදී කථා පැවැත්වූහ.

කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරුන් වන නීතිඥ අශ්රෆ් රූමි, නීතිඥ ඉරේෂා සමරවීර සහ කරාපිටිය උප්පැන්න මරණ රෙජිස්ටාර් ලාල් රත්නායක යන මහත්ම මහත්මීහු ද විශේෂයෙන්ම ප්‍රවාහන දුෂ්කරතා පවතින අවධියක වුවද කෑගල්ල, වැල්ලවාය සහ තිස්සමහාරාමය සහ මාතර වැනි ඈත ප්‍රදේශවල සිට පැමිණි මරණ පරීක්ෂකවරුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂක සංගමයේ සභාපති වෛද්‍ය දයානන්ද රනුග්ගේ, ලේකම් ජී. සරත් පද්මලාල් සහ භාණ්ඩාගාරික නිරෝෂා නිල්මිණි ඇතුළු නිලධාරී මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, විශ්‍රාමික හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවය අගයමින් සමරු තිළිණ ප්‍රදානය කිරීම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වර්තමානයේ සේවය කරන මරණ පරීක්ෂකවරුන්ගේ සේවය අගයමින් සහතික පත්‍ර පිරිනැමීම ද සිදු විය.

Related articles

Recent articles

error: Content is protected !!