28.3 C
Galle

උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය

Published:

ශ්‍රී ලංකාවේ උතුර සහ දකුණ මෙන්ම බෞද්ධ සහ හින්දු සංස්කෘතීන් අතර සහජීවනය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ගාල්ල මහින්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර මංගල සුහද ක්‍රිකට් තරගය අප්‍රේල් මස 4 වන සෙනසුරාදා ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම ඓතිහාසික තරගය නම් කර ඇත්තේ මහින්ද විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු වූ නැසීගිය ඊ ඒ විජේසූරිය මහතා සහ යාපනය හින්දු විද්‍යාලයේ සේවය කළ කීර්තිමත් ආචාර්යවරයකු වූ නැසීගිය කපිතාන් එන් සෝමසුන්දරම් මහතා සිහිපත් කරමිනි. ඒ අනුව ජයග්‍රාහකයින් වෙත ඊ ඒ විජේසූරිය සහ කපිතාන් සෝමසුන්දරම් අනුස්මරණ කුසලානය පිරිනැමීමට නියමිතය.

ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිද්‍යාලයීය සිසුන්ගේ තර්කන සහ භාෂා කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කෙරෙන ඉංග්‍රීසි විවාද තරගය එදිනම සවස 5.30 ට මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්වේ.

පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලියේදී මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම අරෝෂ උදයංග විසින් මෙහෙයවනු ලබන අතර යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට එස් සුබර්නන් නායකත්වය ලබා දෙයි.

ඉංග්‍රීසි විවාද කණ්ඩායම් සඳහා මහින්ද විද්‍යාලයෙන් ජයරු හෂේන්ගේ නායකත්වයෙන් රයන් ජයසූරිය, ලිසජ කෙනොද්, සහ සන්විඳු වොනාල් සූරියආරච්චි සහභාගී වන අතර එහි භාර ආචාර්යවරයා ලෙස යසස් දර්ශන මහතා කටයුතු කරයි.

යාපනය හින්දු විද්‍යාලයීය විවාද කණ්ඩායම ජී අර්වින්ත්ගේ නායකත්වයෙන් බී අඛිලේෂන් සහ ජී වරුන් යන සිසුන්ගෙන් සමන්විත වන අතර භාර ආචාර්යවරයා ලෙස එම් සෙන්තිල්කුමාර් මහතා කටයුතු කරයි.

එක්දහස් අටසිය අනූදෙක වසරේදී ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් ආරම්භ කළ ගාල්ල මහින්ද විද්‍යාලය මේ වසරේදී සිය එකසිය තිස්හතර වැනි සංවත්සරය සමරන අතර එක්දහස් අටසිය අසූහත වසරේදී ආරම්භ වී එක්දහස් අටසිය අනූදෙකේදී යාපනය හින්දු විද්‍යාලය ලෙස නම ලබාගත් එම විද්‍යාලය වසර එකසිය තිස්නවයක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි. මිෂනාරි අධ්‍යාපනය වෙනුවට ස්වදේශීය අනන්‍යතාවය රැකෙන පරිදි ඉංග්‍රීසි උගත් දරුවන් බිහිකිරීමේ පොදු අරමුණක් සහිතව මෙම පාසල් ද්විත්වයම බිහිවීම විශේෂත්වයකි.

මෙම දැවැන්ත වැඩසටහන කොළඹ මහින්ද සමාජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන මහින්දයීයන් එක්ව සංවිධානය කරනු ලබන අතර මෙම වසරේ සිට මෙම සුහද ක්‍රිකට් තරගය වාර්ෂිකව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇත.

ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම

Seated L to R – Mr. G.H. Sachith Lakmal (Asst. Coach), Mr. Jagath Samarakoon (Master in charge – Junior), Mr. M.W. Ajith (Prefect of Games), Arosha Udayanga (Captain), Mr. Janaka Peduruhewa (Principal), Dulsith Darshana (Vice Captain), Mr. L.P. Weeraman (Deputy Principal – Sports), Mr. Y. Nishantha Kumara (Master in Charge – Senior), Mr. T.D. Ajantha Kumara (Head Coach

Seated L to R – Ruvinda Deshanjana, Kavindu Nimsara, Buddima Tharupathi, Naviru Nishitha, Kaveesha Githmal, Sehas Ashinsa, Thiyon Helika, Manitha Rajapaksha, Sadew Nethmina, Thevindu Rashmika, Randula Mabarana,  Vishmitha Sathsara, Gesandu Bisas, Dineth Pahasara, Mandith Manodara

යාපනය හින්දු විද්‍යාලයීය කණ්ඩායම

Related articles

Recent articles

error: Content is protected !!