දෙදහස් විසිපහ වසරේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ අසූ එක්දහස් අටසිය දහ දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් එක්ලක්ෂ හැත්තෑ හයදහස් පන්සිය විසි හත් දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කරයි.
ප්‍රතිඵල අනුව අපේක්ෂකයින් අසූ තුන් සිය දෙනෙකු විශිෂ්ට සාමර්ථ්‍ය හෙවත් ඒ සාමර්ථ්‍ය තුනම ලබා ගැනීමට සමත්ව ඇති අතර එම පිරිසට පාසල් අයදුම්කරුවන් හත්දහස් හාරසිය හැත්තෑ හත් දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් අටසිය විසි තුන් දෙනෙකු ඇතුළත් වේ.
කෙසේ වුවද විවිධ හේතූන් මත අපේක්ෂකයින් එකසිය එකොළොස් දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර තිස්දහස් අටසිය අනූ අට දෙනෙකු සියලුම විෂයන් අසමත්ව තිබේ.
මෙවර විභාග ප්‍රතිඵල අනුව විෂය ධාරා කිහිපයකින් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් සිසුන් පිළිබඳ තොරතුරු ද අනාවරණය කර ඇත. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න දිනාගත් අතර භෞතික විද්‍යා හෙවත් ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් සමත්ව තිබේ.
කලා විෂය ධාරාවෙන් කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා විසින් හිමිකර ගෙන ඇත.
විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඒ සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව අප්‍රේල් මස හය වැනිදා සිට අප්‍රේල් මස විසි දෙවැනිදා දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.


