29.1 C
Galle

රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 150 වැනි සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා මෙතෝදිස්ත විශ්වාසභාර සංගමය (Methodist Trust Association of Ceylon) විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම මගින් රිච්මන්ඩ් විද්‍යාලයේ වත්මන් විදුහල්පති රුසිර මද්දුමහේවා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල්) සහ හිටපු රදගුරු අසිරි පී. පෙරේරා ඇතුළු පාර්ශ්ව 6ක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
ලංකා මෙතෝදිස්ත විශ්වාසභාර සංගමය සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ 1935 අංක 54 දරන මෙතෝදිස්ත විශ්වාසභාර සංගම් ආඥාපනත යටතේ මෙරට මෙතෝදිස්ත අධ්‍යාපන ආයතනවල නීත්‍යානුකූල භාරකරු තමන් බවයි. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය යනු 1814 ජූලි 25 වන දින මෙතෝදිස්ත මිෂනාරිවරුන් විසින් ආරම්භ කරන ලද “The Galle School” ආයතනයේ පරිණාමයක් බවත්, එහි ඉතිහාසය සහ උරුමය පිළිබඳ පූර්ණ අයිතිය පල්ලිය සතු බවත් ඔවුන් අවධාරණය කරයි.
විද්‍යාලයේ වත්මන් පාලනාධිකාරිය විසින් සංවිධානය කරනු ලබන 150 වැනි සංවත්සර සැමරුම, පාසලේ සැබෑ ඉතිහාසය සහ ආරම්භය පිළිබඳ මෙතෝදිස්ත පල්ලියේ හිමිකාරිත්වය නොසලකා හරිමින් සිදුකිරීමට උත්සාහ කරන බවට පෙත්සම්කරුවන් චෝදනා කරයි.

ඒ අනුව, මෙම නඩුව විභාග කොට අවසන් වන තෙක් අදාළ උත්සව කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් (Stay Order) නිකුත් කරන ලෙස මෙතෝදිස්ත පල්ලිය අධිකරණයෙන් ඉල්ලා සිටී.

නීතිඥ භාග්‍යා අයේෂානි පීරිස් මහත්මිය හරහා මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!