31.6 C
Galle

“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”

Published:

පාලුවට ගිය හැන්දෑවක ඔබේ නිවසේ දොරට හෙමින් තට්ටු කරන හඬක් ඇසෙනවා යැයි මොහොතකට සිතන්න. දොර හරින විට ඔබ ඉදිරියේ සිටින්නේ තරමක් වෙනස් පෙනුමක් ඇති, හැඳ පැළඳ සිටින ආකාරයෙන් ද පිටරටකැයි සිතිය හැකි නන්නාඳුනන තරුණියක්.

ඇයට සිංහලෙන් එක වචනයක්වත් කතා කරන්න බැහැ. ඒත්, ඒ දෑස් දෙස බලන විට ඔබට මොහොතකට හුස්ම ගන්නත් අමතක වේවි. ඇය, වෙව්ලන දෑතින් තමන්ගේ පපුවට අතක් තබාගෙන, ඉන්පසු ඔබේ දෑත් තදින් අල්ලාගෙන දෑසින් කදුළු කඩාහැලෙද්දී ඔබ දෙස බලා සිටින්නේ මහත් බලාපොරොත්තුවකින්.

ඒ තරුණියගේ මුවින් පිටවන ඉංග්‍රීසි හෝ ප්‍රංශ වචන පේළියේ සැබෑ අරුත, එදා තමන්ගේ හදවතේ කොටසක් වන් බිළිඳා අහිමි කරගත් මවකගේ හෝ පියෙකුගේ දෙසවනට ඇසෙන්නේ මෙන්න මේ වගේ හැඟීමකින්,

“මට මාව හදාගත්ත රටේ හැම සැපසම්පතක්ම තිබුණා. මට පණ වගේ ආදරේ කරපු දෙමාපියන් හිටියා. ඒත්… මේ මහපොළොව උඩ මගේම ලේ සුවඳ තියෙන කවුරුහරි ඉතිරි වෙලා ඉන්නවා ඇති කියලා මගේ හිත හැමදාම කිව්වා. මාව මෙලොවට බිහිකළ මගේ අම්මා තවමත් ජීවතුන් අතරද? මේ ප්‍රශ්නය හැමදාම මගේ හිතේ තිබුණා.”

“මට ඔබේ බසින් කතා කරන්න තේරෙන්නේ නැහැ අම්මේ… ඒත් එකම එක වතාවක් ඔබේ උණුසුමට ලංවෙලා ඔබේ පපුවේ හිස තියාගන්න මට ඉඩ දෙනවාද?…”

මෙය කිසිසේත්ම සිනමා පටයක දර්ශනයක් නොවේ. අද ලෝකයේ විවිධ රටවල උපරිම සැපපහසුකම් මැද ජීවත් වුවද, තම අනන්‍යතාවය අහිමිව හදවතේ පුරවාගත නොහැකි මහා හිස්තැනකින් පෙළෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික දරුවන්ගේ සැබෑ ජීවිත කතාවයි. ඔවුන් “මම ඇත්තටම කවුද? මේ රටට ආවේ කොහෙන්ද?” යන ප්‍රශ්න වලට වසර ගණනාවක සිට තොරතුරු සොයති.

මේ සංවේදී කතාව පිටුපස ඇත්තේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අමතක වී ගිය, එහෙත් අමතක කළ නොහැකි අඳුරු අතීත පරිච්ඡේදයකි. 1960 දශකයේ සිට 1980 දශකය දක්වා කාලය තුළ, දරුණු දරිද්‍රතාවය, විවාහයෙන් පිටත සිදුවූ උපත් නිසා එල්ල වූ සමාජ අපවාදය සහ විවිධ බලපෑම් හමුවේ අසරණ වූ මව්වරුන්ගේ කුසින් උපන් බිළිඳුන් විදේශිකයන්ට දරුකමට ලබාදීම මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකික දරුවන් 11,000කට වැඩි පිරිසක් නෙදර්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ ජර්මනිය වැනි රටවලට රැගෙන යන ලදී. ඉන් වැඩිම පිරිසක් එනම් 4,000කට අධික පිරිසක් අදටත් ජීවත් වන්නේ නෙදර්ලන්තයේය.

එකල ක්‍රියාත්මක වූ “බේබි ෆාම්” (Baby Farms) නම් කුප්‍රකට මධ්‍යස්ථාන හරහා අසරණ ගර්භණී මව්වරුන් රඳවා තබා ගනිමින් සිදුවූ දරුවන් විකිණීම, ව්‍යාජ උප්පැන්න සහතික සකස් කිරීම සහ සැබෑ මව වෙනුවට වෙනත් කාන්තාවන් මුදලට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වැනි අමානුෂික ජාවාරම් නිසා අද වන විට මේ දරුවන් සතුව ඇති ලේඛන පවා ව්‍යාජ ඒවා බවට පත්ව ඇත. මේ නිසාම, තමන්ගේ මුල් සොයා මව්බිමට පැමිණෙන දරුවන්ට තම සැබෑ මව කවුදැයි හඳුනා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ.

අද වන විට මේ අතීත වැරදි නිවැරදි කරමින් 1993 වසරේ සිට ජාත්‍යන්තර “හේග් සම්මුතිය” (Hague Convention) හරහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දැඩි රාජ්‍ය අධීක්ෂණය යටතේ පමණක් විනිවිද පෙනෙන ලෙස දරුකමට හදාගැනීම් සිදු කළද, අතීතයේ වෙන්වූ පවුල්වල වේදනාව තවමත් අවසන් වී නැත. අද වන විට ලංකාවේ සිටින ඒ අතීත මව්වරුන් වයස අවුරුදු හැත්තෑව, අසූව පසුකරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවති. ඔවුන් මියයන්නට මත්තෙන් තම ලෙයින් උපන් දරුවා එක වරක් හෝ දැකීමේ දැඩි ප්‍රාර්ථනාවෙන් පසුවෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් සිතන්නේ තමාව අතහැර දැමූ නිසා දරුවා තමන්ට වෛර කරනවා කියාය.

නමුත් යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. විදේශයන්හි වෙසෙන ඒ දරුවන් තුළ තම මව්වරුන් කෙරෙහි කිසිදු වෛරයක් හෝ චෝදනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ, “අම්මේ, එදා ඔබ මාව කැමැත්තෙන් දුන්නාද, නැත්නම් ජාවාරම්කරුවන් ඔබෙන් මාව උදුරා ගත්තාද?”, “මගේ සැබෑ නම කුමක්ද?”, “මට සහෝදර සහෝදරියන් ඉන්නවාද?” යන ප්‍රශ්න වැලට පිළිතුරු සොයාගෙන, තම මවගේ උණුසුම් වැළඳගැනීම විඳගැනීමට පමණි.

මේ මහා මානුෂීය මෙහෙයුම වෙනුවෙන් SERVE ආයතනය සහ ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානයේ (ISS) ප්‍රංශ ශාඛාව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ පූර්ණ සහය ඇතිව සොයමු” (SOYAMU) ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. දැනටමත් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් 18 දෙනෙකු තමන්ගේ සැබෑ අම්මා තාත්තා සොයා දෙන ලෙස ඉල්ලමින් මෙම වැඩසටහනේ ලියාපදිංචි වී බලා සිටිති.

මෙය ඔබ වෙනුවෙන් කෙරෙන විවෘත ආරාධනාවකි. ඔබ හෝ ඔබ දන්නා හඳුනන යම් මවක්, පියෙක් හෝ ඥාතියෙක් 1960 සිට 1980 දක්වා කාලය තුළ තම දරුවෙකු විදේශගත කිරීමට සිදුවූ අයෙක් නම්, වහාම මේ සඳහා ඉදිරිපත් වන්න. ඔබ සතුව එදා සිදුවීමට අදාළ කිසිදු ලේඛනයක් නොමැති වුවද එය ගැටලුවක් නොවේ. ඔබේ මතකයේ ඇති නමක්, ගමක්, රෝහලක්, දිනයක් හෝ කුඩා සිදුවීමක් වුවද වසර පනහක් තිස්සේ මඟ බලන දරුවෙකුට තම මව සොයාගත හැකි ලොකුම හෝඩුවාව විය හැකිය.

ඔබ ලබා දෙන සියලුම තොරතුරු අතිශය රහස්‍යභාවයෙන් යුතුව සුරක්ෂිතව තබා ගන්නා අතර, ඉදිරියේදී සැබෑ ඥාතීත්වය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා විධිමත් DNA දත්ත බැංකුවක් පිහිටුවීමට ද රජයේ අවධානය යොමු වී ඇත. අතීතය වෙනස් කිරීමට අපට නොහැකි වුවත්, වෙන්වූ හදවත් එකතු කිරීමට තවමත් ප්‍රමාද නැත. සමහර හමුවීම් සිදුවන්නට වසර පනහක් ගත වුවද, ඒ වැළඳගැනීමේ උණුසුම මකා දැමීමට කාලයට පවා නොහැකිය.

ඔබේ ලෙයින් උපන් දරුවා තවමත් ඔබ සොයමින්, ඔබෙන් ලැබෙන එකම එක දුරකථන ඇමතුමක් වෙනුවෙන් මඟ බලා සිටිනවා විය හැකියි. වසර ගණනාවක කඳුලට, සෝ සුසුමට නිමාවක් තබන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් වහාම පියවර ගන්න.

වැඩිදුර විස්තර සඳහා හෝ ඔබේ තොරතුරු ලබා දීම සඳහා SERVE ආයතනය අමතන්න:

  • දුරකථන අංකය: 0701 242 242
  • විද්‍යුත් තැපෑල: [email protected]

Related articles

spot_img
error: Content is protected !!