30 C
Galle

ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට

Published:

නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නුවර දුර්ගා පූජා උත්සවයක් පැවැති ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තවත් 25 දෙනකු තුවාල ලබා තිබේ. මෙම අනතුර ඔක්තෝබර් 17 වැනිදා සවස උතුරු කල්කටාවේ චෝර්බගන් සර්බෝජනින් දුර්ගා පූජා මණ්ඩපයේදී සිදුවිය.

අධික වර්ෂාවත් සමඟ උත්සව භූමියේ රැස්ව සිටි විශාල පිරිසක් ආරක්ෂාව පතා ගමන් කිරීමට උත්සාහ කිරීමෙන් පිටවීමේ දොරටුව ආසන්නයේ තදබදය හටගෙන තිබේ. එහිදී පුද්ගලයන් කිහිපදෙනකු ඇදවැටීමත් සමඟ තෙරපීම උග්‍ර වූ බව වාර්තා වේ.

මියගිය අය අතර කුඩා දැරියක ද සිටින බව වාරුතා වී ඇති අතර තුවාල ලැබූවන් කල්කටා වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සිදු වූ ස්ථානයට බලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් උත්සව සංවිධායක කමිටුවේ සාමාජිකයන් සහ සෙනඟ පාලනය කිරීමේ හා ආරක්ෂක කටයුතුවල නිරත වූ පුද්ගලයන් ඇතුළු හත්දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සෙනඟ පාලනය කිරීමේ අඩුපාඩු, ආරක්ෂක විධිවිධාන සහ උත්සව භූමියේ සැලසුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය පියවර ගෙන ඇත. සිද්ධියට අදාළ නඩුවක් ද ගිරිෂ් පාර්ක් පොලිස් ස්ථානයේ ලියාපදිංචි කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මියගිය එක් අයකුගේ පවුලකට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද, තුවාල ලැබූ එක් අයකුට රුපියල් 50,000ක මුදලක් ද වන්දි ලෙස ලබාදීමට ප්‍රකාශ කර තිබේ.

මේ අතර බටහිර බෙංගාල ප්‍රාන්ත රජය මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි සහ පවුලේ එක් අයකුට රජයේ රැකියාවක් ලබාදීමට ද තීරණය කර ඇත. තුවාල ලැබූ එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ලබාදීමටත්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වියදම් දැරීමටත් ප්‍රාන්ත රජය එකඟ වී තිබේ.

අනතුරෙන් පසු චෝර්බගන් උත්සව භූමිය වසා දමා ඇති අතර, කල්කටාවේ අධික සෙනඟක් රැස්වන වෙනත් දුර්ගා පූජා ස්ථානවල ආරක්ෂක විධිවිධාන පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

දුර්ගා පූජා උත්සවය බටහිර බෙංගාලයේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සවයක් වන අතර, දින ගණනාවක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට විශාල ජනකායක් එක්රැස් වෙති. මෙම අනතුරත් සමඟ විශාල ජනකායක් සහිත උත්සවවලදී සෙනඟ පාලනය, හදිසි පිටවීමේ මාර්ග සහ ආරක්ෂක සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව යළිත් අවධාරණය වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!