29.3 C
Galle

සාක්ෂරතාවයෙන් ඉහළ රටක, ඉගෙනීමෙන් පිටමං වූ වැඩිහිටියෝ

Published:

සිරංගිකා ලොකුකරවිට විසිනි

රැකියා ඇබෑර්තු පිටුවක් පෙරළුවොත් එහි ඇත්තේ කොන්දේසි වැලකි. “පරිගණක දැනුම තිබිය යුතුයි”, “ඉංග්‍රීසි පුළුවන් විය යුතුයි”, “සහතික තිබිය යුතුයි”. නමුත් පාසලෙන් පසු උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් නොලැබූ තරුණයෙකුට මේ වදන් තුළින් පෙනෙන්නේ බලාපොරොත්තුවක් නොව, අවිනිශ්චිත, අඳුරු අනාගතයකි. රැකියාවක් සොයන අතරතුර අලුත් දෙයක් ඉගෙන ගැනීමට ඔහුට හෝ ඇයට අවශ්‍යයි. එහෙත් පුහුණු පාඨමාලාවකට මුදල් නැත. දුර බැහැර පුහුණු මධ්‍යස්ථානයකට යාමට ප්‍රවාහන පහසුකම් නැත. පවුලේ වියදම් පියවාගැනීමට රැකියාවක් කළ යුතු නිසා දවසේ වැඩි කාලයක් අධ්‍යාපනයට වෙන් කළ නොහැක.

මොවුන්ගේ ජීවිතවලින් නැගෙන කටුක ප්‍රශ්නය නම්, පාසලෙන් පසු ඔවුන් වෙනුවෙන් ඇති මාර්ගය කුමක්ද යන්නයි. අප සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස ආඩම්බරයෙන් කියා සිටියද, ජීවිතයේ මැදදී නැවත ඉගෙනීමට, කුසලතා වර්ධනය කරගැනීමට සහ වෙනස් වන රැකියා වෙළෙඳපොළට ගැළපීමට අවස්ථා සැමටම එක සමානව ලැබෙන්නේද?

2024 ජන හා නිවාස සංගණනයට අනුව වයස අවුරුදු 10ට වැඩි ජනගහනයේ ජාතික භාෂා සාක්ෂරතා අනුපාතය සියයට 97.4කි. එය නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ අභිමානවත් ජයග්‍රහණයකි. එහෙත් කියවීමට හා ලිවීමට හැකිවීම යනු අද සමාජය ඉල්ලා සිටින සියලු දැනුම හා කුසලතා අත්පත් කරගෙන තිබීම නොවේ.

මෙම ලිපියේදී වැඩිහිටි ඉගෙනුම්කරුවන් ලෙස සලකන්නේ වයස අවුරුදු 18 ඉක්මවා ඇති, පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් විධිමත් අධ්‍යාපන මාර්ගයකට ඇතුළත් වීමට නොහැකි වූ, එම මාර්ගවලින් අතරමඟ ඉවත් වූ හෝ වෙනත් හේතු නිසා ඉගෙනීම නතර කර රැකියාවක් සොයන හෝ රැකියාවක නිරත වන ජනකොටසයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මූලික කියවීමේ හා ලිවීමේ හැකියාව පමණක් නොවේ. බැංකු කටයුතු කරගැනීම, ඖෂධ ලේබලයක් නිවැරදිව තේරුම් ගැනීම, ආදායම හා වියදම කළමනාකරණය කිරීම, අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය සේවා ලබාගැනීම, රැකියා අයදුම්පතක් නිවැරදිව සකස් කිරීම සහ නව රැකියාවකට අවශ්‍ය තාක්ෂණික කුසලතා ලබාගැනීමද ඔවුන්ගේ දෛනික අරගල අතර වේ.

ඒ අනුව වැඩිහිටි අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනය අහිමි වූ අය වෙනුවෙන් පවත්වන පන්ති කිහිපයකට සීමා වූ වැඩපිළිවෙළක් ලෙස අදහස් කළ නොහැක. එය පුද්ගලයෙකුට තම ජීවිතයේ ඕනෑම අවධියකදී අලුතින් හුස්ම ගැනීමට, වෘත්තිය වෙනස් කරමින් ඉදිරියට යෑමට සහ සමාජයේ නව වෙනස්කම්වලට බියකින් තොරව මුහුණ දීමට අවස්ථාව සලසන ජීව රුධිරයයි.

අද රැකියා වෙළෙඳපොළ තුළ පරිගණක භාවිතය, අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගැනීම, ගණිතමය හැකියාව, සන්නිවේදනය සහ තාක්ෂණික දැනුම ද අත්‍යවශ්‍ය මිනුම්දඬු බවට පත්වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණයට අනුව මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 35.9කි. නාගරික ප්‍රදේශවල එම අගය සියයට 47.3ක් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල සියයට 34.5ක් සහ වතු ප්‍රදේශවල එය සියයට 14.9ක් තරම් පහත් මට්ටමක වෙයි. මෙම අසමානතා පෙන්වා දෙන්නේ තාක්ෂණික කුසලතා ලබාගැනීමේ අවස්ථා පවා ජීවත්වන ප්‍රදේශය මත අතිශයින් වෙනස් වන බවයි.

ඩිජිටල් සේවා වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක, පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් භාවිත කිරීමට නොදන්නා පුද්ගලයෙකුට රැකියා අයදුම්පතක් යොමු කිරීමේ සිට බැංකු ගනුදෙනුවක් කරගැනීම දක්වා කටයුතු රැසකදී මුහුණදීමට සිදුවන්නේ දැඩි අසරණකමකි. එවැනි කුසලතා හිඟයක් පවතින විට කඩදාසි මත ඇති ඉහළ සාක්ෂරතා අනුපාතයකින් පමණක් රැකියා වෙළෙඳපොළට සාර්ථකව පිවිසීම සහතික කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ තරුණ විරැකියාව මේ ගැටලුවේ බරපතළකම හෙළි කරයි. ශ්‍රම බලකා සමීක්ෂණ දත්තවලට අනුව වයස අවුරුදු 15–24 කාණ්ඩයේ විරැකියා අනුපාතය සැලකිය යුතු මට්ටමක පවතී. නවතම වාර්තාවලට අනුව තරුණ පිරිමින්ගේ විරැකියා අනුපාතය සියයට 15.5ක් වන අතර තරුණ කාන්තාවන්ගේ අනුපාතය සියයට 22.4ක් වැනි ඉහළ අගයක් ගනී.

රැකියා අවස්ථා සොයාගැනීමේදී අධ්‍යාපන සහතිකයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත, ඒ සඳහා සැබෑ ප්‍රායෝගික කුසලතා තිබිය යුතුය. ඇතැම් තරුණයන්ට උසස් පෙළ අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමට නොහැකි වී තිබිය හැකිය. තවත් අය විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබීමෙන් පසු අනාගතය පිළිබඳ කිසිදු පැහැදිලි මඟපෙන්වීමක් නොමැතිව දිනයන් ගෙවමින් සිටිති.

එවැනි අවස්ථාවකදී කෙටි කාලීන වෘත්තීය පුහුණුව, වෘත්තීය සහතික, පරිගණක හා භාෂා පුහුණුව සහ නිසි රැකියා මඟපෙන්වීම වැනි වැඩසටහන් මගින් ඔවුන්ට තරගකාරී ලෝකයට පිවිසීමට අත්වැලක් සැපයිය හැකිය. එහෙත් සැබෑ ප්‍රශ්නය වන්නේ එවැනි අවස්ථා රට තුළ ඇත්තේම නැද්ද යන්න නොව, ඒවා රැකියා සොයන මිනිසුන්ට පහසුවෙන් ළඟා කරගත හැකිද, කර්මාන්තවල සැබෑ අවශ්‍යතාවලට ගැළපේද සහ පුහුණුවෙන් පසු ජීවිතය ගොඩනගා ගැනීමට එය සැබැවින්ම උපකාරී වේද යන්නයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනය සඳහා කිසිදු වැඩසටහනක් නොමැති යැයි පැවසීම අසත්‍යයකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් නොවන අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වන විවෘත පාසල් වැඩසටහන එවැනි එක් අගනා මාර්ගයකි. එහි සාක්ෂරතා, මූලික අධ්‍යාපන සහ ද්විතීයික අධ්‍යාපන පාඨමාලා දුරස්ථ ඉගෙනුම් ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වේ. විවිධ ජීවන බාධක නිසා අධ්‍යාපනය අහිමි වූ අයට නැවත අකුරු කරන්නට අත්වැලක් වීම එහි අරමුණයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති රාමුව තුළද වැඩිහිටි සහ අවිධිමත් අධ්‍යාපනය පිළිගෙන ඇත. එහෙත් කඩදාසි මත ප්‍රතිපත්තියක් තිබීමත්, එය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් අයවැයක්, පැහැදිලි ඉලක්ක, දුෂ්කර දිස්ත්‍රික් මට්ටමේ ප්‍රවේශයක් සහ ප්‍රතිඵල නිවැරදිව මැනීමේ ක්‍රමවේදයක් තිබීමත් යනු සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා ය.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ අය සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ රට පුරා පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව යටතේ තාක්ෂණික විද්‍යාල හරහා මෝටර් රථ අලුත්වැඩියාව, ඉදිකිරීම්, ගිණුම්කරණය සහ භාෂා වැනි ක්ෂේත්‍රවල කුසලතා ලබාගැනීමට දොරටු විවර කර ඇත.

එහෙත් මධ්‍යස්ථාන හා පාඨමාලා පත්‍රිකාවල පැවතීමෙන් පමණක් මිනිස්සුන්ගේ ගැටලු විසඳෙන්නේ නැත. ඒවා පිහිටා ඇත්තේ රැකියා සොයන අව වරප්‍රසාදිත ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි දුරකින්ද? පාඨමාලා ගාස්තු, දිනපතා ගමන් වියදම් සහ ඉගෙනුම් කාලය අඩු ආදායම්ලාභී වැඩිහිටියෙකුට දරාගත හැකිද? පුහුණුව අවසන් කළ අයගෙන් කොපමණ පිරිසකට අද ස්ථිර රැකියාවක් ලැබී තිබේද? පෞද්ගලික අංශයේ සැබෑ රැකියා අවශ්‍යතා මෙම පාඨමාලා සකස් කිරීමේදී කොතරම් දුරට සැලකිල්ලට ගෙන තිබේද? මේ ප්‍රශ්නවලට අප අවංකව පිළිතුරු සෙවිය යුතුය.

රැකියා වෙළෙඳපොළ යනු සුළඟටත් වඩා වේගයෙන් වෙනස් වන තැනකි. මීට වසර දහයකට පෙර කෙනෙකු ඉගෙනගත් කුසලතාවක් අද ලෝකයට කිසිසේත් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. එබැවින් අද රැකියාවක නිරත වැඩිහිටියන්ටද නව තාක්ෂණය, නව යන්ත්‍රෝපකරණ සහ වෙනස් වන සේවා ක්‍රම පිළිබඳව නැවත ඉගෙන ගැනීමට අඛණ්ඩ අවස්ථා තිබිය යුතුය.

විදේශ රැකියා යනු ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පවුල්වල කුසගින්න නිවන, ආර්ථිකයට දැවැන්ත රුකුලක් වන යථාර්ථයකි. එහෙත් විදේශ රටකට ගොස් ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට නම් අවශ්‍ය වෘත්තීය කුසලතා, භාෂා දැනුම, විදේශීය සේවා පරිසරය පිළිබඳ අවබෝධය සහ නීතිමය දැනුම තිබීම අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදේශ රැකියා අපේක්ෂකයන් සඳහා පිටත්වීමට පෙර පුහුණු වැඩසටහන් පවත්වයි.

මෙම ආයතන සහ වැඩසටහන් තිබීම අගය කළ යුත්තක් වුවද, පුහුණුව සැබෑ විදේශ රැකියා අවස්ථාවලට කොතරම් දුරට ගැළපෙනවාද, පුහුණුව අවසන් කරන පිරිසෙන් කොපමණ ප්‍රමාණයක් ආරක්ෂිත හා සාධාරණ සේවා කොන්දේසි සහිත රැකියා කරා ළඟා වෙනවාද යන්න අප දැඩි ලෙස විමසා බැලිය යුතුය. විදේශ රැකියාවක සිහිනයෙන් පුහුණු පාඨමාලාවකට යන පුද්ගලයෙකුට, පුහුණුවෙන් පසු සැබෑ රැකියා අවස්ථාවක් ලබාගැනීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම සහ සම්බන්ධතා ලැබිය යුතුය.

වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳ අප මුහුණදෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ දැනට පවතින විවිධ වැඩසටහන් එකිනෙකට සම්බන්ධ වන ආකාරයයි. සාක්ෂරතා වැඩසටහන්, විවෘත පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, තාක්ෂණික අධ්‍යාපනය සහ විදේශ රැකියා පුහුණුව විවිධ ආයතන හරහා ක්‍රියාත්මක වුවද, මේ කිසිවක් වැඩිහිටි ඉගෙනුම්කරුවෙකුට එක් පැහැදිලි, පහසු මාර්ගයක් ලෙස එකතු වී ලැබෙනු පෙනෙන්නට නැත.

ඒ සඳහා වැඩිහිටි ඉගෙනුම්කරුවන් පිළිබඳ විශ්වසනීය දත්ත, පාඨමාලා සඳහා වෙන්කරන ප්‍රමාණවත් මුදල්, පාඨමාලා සාර්ථකව අවසන් කරන සංඛ්‍යාව, පුහුණුවෙන් පසු සැබැවින්ම රැකියා ලබාගත් පිරිස සහ ඔවුන්ගේ පවුල්වල ආදායමට සිදුවූ වෙනස්කම් විනිවිදභාවයෙන් යුතුව මැනීම වැදගත් වේ.

විශේෂයෙන්ම වැඩිහිටි අධ්‍යාපනයට ප්‍රවේශ වීමේදී කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වතු ප්‍රජාවන් සහ දුරස්ථ ගම්මානවල ජීවත්වන මිනිසුන් මුහුණදෙන බාධා සංවේදීතාවකින් යුතුව සැලකිල්ලට ගත යුතුය. රාත්‍රී හා සති අන්ත පාඨමාලා, ගම් මට්ටමේ පුහුණු මධ්‍යස්ථාන, දුරස්ථ ඉගෙනුම් ක්‍රම, දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් සහ අවම වියදම් සහිත පාඨමාලා ඔවුන්ට නැවත ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යාමට විශාල අත්වැලක් වනු ඇත.

අධ්‍යාපනයේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ පාසල් දොරටුවෙන් එළියට බසින දරුවන් කීදෙනෙකුට අකුරු කියවීමට හැකිද යන්නෙන් පමණක් නොවේ. පාසලෙන් පිටවූ පසු ජීවිතය ඔවුන්ට කුරිරු අභියෝග ඉදිරිපත් කරන සෑම මොහොතකම නැවත නැඟී සිටීමට, අලුතින් ඉගෙනීමට, රැකියාවක් සොයාගැනීමට සහ තම බිඳී ගිය ජීවිතය යළි ගොඩනඟා ගැනීමට ඔවුන්ට අවස්ථාව තිබේද යන්නෙනි. විශේෂයෙන්ම ඔවුන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේද යන්න මෙහිදී විමසා බැලිය යුතු වැදගත් කරුණකි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය එල්. එම්. කපිල බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය ඉහළ මට්ටමක පැවතියද, එය වැඩිහිටි අධ්‍යාපනයේ පුළුල් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි. පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කළ පුද්ගලයන්, නොගැළපෙන රැකියාවල නිරත වන පිරිස් සහ ගොවිතැන වැනි වෘත්තීන්හි නියැළෙන සමාජයෙන් කොන්වූ කණ්ඩායම් ඇතුළු සියලු වැඩිහිටියන්ගේ ගැටලු විසඳීම සඳහා සාක්ෂරතාවට අමතරව ගැටලු නිරාකරණය, තාර්කික චින්තනය, ඩිජිටල් සහ මූල්‍ය සාක්ෂරතාව මෙන්ම ජීවන කුසලතා ද සංවර්ධනය කළ යුතු බව ඔහු සඳහන් කරයි. රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ සංවිධාන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද, ඒවා නිසි ලෙස සම්බන්ධීකරණය හා නියාමනය කෙරෙන පැහැදිලි ජාතික ප්‍රතිපත්ති රාමුවක් නොමැතිවීම ගැටලුවක් බව පෙන්වා දෙන ඔහු, වැඩිහිටියන්ට ජීවිතයේ ඕනෑම අවධියක තම කුසලතා වර්ධනය කරගනිමින් සමාජ හා ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක විය හැකි පරිදි විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට ප්‍රතිපත්තිමය අවධානයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන සංවර්ධන සන්ධානය වැඩිහිටි අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා ප්‍රාමාණිකයන්ගේ දායකත්වය ලබාගනිමින් මැදිහත්වීම් සිදුකරයි. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වැඩිහිටි අධ්‍යාපනය ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවීම සැලකිල්ලට ගනිමින්, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනය එකිනෙකට සම්බන්ධ කරන පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක අවශ්‍යතාව සන්ධානය අවධාරණය කරයි. ඒ අනුව, ‘වැඩිහිටි අධ්‍යාපනය නංවාලීම සඳහා වූ සිවිල් සමාජ යෝජනා’ නමින් මූලික යෝජනා 11ක් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ඉදිරිපත් කර තිබේ. වැඩිහිටි අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, විවිධ ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා ප්‍රතිපත්තිමය සහාය සැපයීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම ශක්තිමත් කිරීම මෙම මැදිහත්වීමේ ප්‍රධාන අරමුණකි.

වැඩිහිටි අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ආයතන හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුවද, ඒවා ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක නොවීම ප්‍රධාන ගැටලුවක් බව අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සම්බන්ධීකාරක ශාන්ත කුලතුංග මහතා පෙන්වා දෙයි. වෘත්තීය පුහුණුව, ධාරිතා සංවර්ධනය, සේවාස්ථ පුහුණුව සහ කෘෂිකර්ම, රබර් හා ධීවර ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් පැවතියද, ඒවා සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීමත්, ඇතැම් පාඨමාලා යාවත්කාලීන නොවීමත් අඩුපාඩු ලෙස ඔහු සඳහන් කරයි. වැඩිහිටි අධ්‍යාපනය අධික විධිමත් ක්‍රමවේදවලට සීමා නොවී, වැඩ කරන පුද්ගලයන්ට තම පහසුව අනුව නිදහසේ ඉගෙන ගත හැකි නම්‍යශීලී ක්‍රමයක් විය යුතු බව ද ඔහු අවධාරණය කරයි. උදාහරණයක් ලෙස, ත්‍රිරෝද රථ රියැදුරකුට සිය රැකියාව කරගෙන යන අතරතුර සවස් කාලයේ කෙටිකාලීන පාඨමාලාවක් හරහා ජලනල කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට අවස්ථාව තිබිය යුතුය. ඒ සඳහා පවතින වැඩසටහන් සම්බන්ධීකරණය කර, යාවත්කාලීන හා ප්‍රවේශ විය හැකි වැඩිහිටි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැඟීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බව ඔහු අවධාරනය කරයි.

ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂරතා අනුපාතය අපේ අධ්‍යාපන ඉතිහාසයේ ලැබූ අභිමානවත් ජයග්‍රහණයකි. එහෙත් එම ජයග්‍රහණය අනාගතයට දායාද කිරීමට නම්, පාසල් දොරටුවෙන් පිටත සිටින අපේම වැඩිහිටියන්ටද ඉගෙනීමේ අයිතිය සහ අවස්ථා ලබාදිය යුතුය. ජීවිතයේ යම් අවාසනාවන්ත මොහොතක අධ්‍යාපනය නතර වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ ඉගෙනීමේ හැකියාව හෝ අනාගතය කිසිවිටෙකත් අවසන් නොවිය යුතුය.

රැකියා විරහිත තරුණයෙකුට, රැකියාව වෙනස් කිරීමට බලාපොරොත්තු වන සේවකයෙකුට, දරුවන් ලොකුමහත් කිරීම නිසා තාවකාලිකව අධ්‍යාපනයෙන් ඉවත්ව සිටි මවකට හෝ නව තාක්ෂණික වෙනස්කම් හමුවේ තම වෘත්තීය කුසලතා යාවත්කාලීන කරගැනීමට අවශ්‍ය වැඩිහිටියෙකුට නැවත ඉගෙනීමට ලැබෙන අවස්ථාව යනු හුදු සහනයක් පමණක් නොවේ. එය ඔවුන්ගේ ආර්ථික ස්වාධීනත්වය, සමාජය හමුවේ හිස ඔසවා සිටීමේ ගෞරවය සහ රටේ සංවර්ධනයට සක්‍රියව සහභාගී වීමේ අයිතිය තීරණය කරන මාර්ගයයි.

ශ්‍රී ලංකාවට අද මුහුණදීමට ඇති සැබෑම අභියෝගය වන්නේ කියවීමට පමණක් උගැන්වීමෙන් නතර නොවී ඉගෙනීම අහිමි වූ අයට නැවත දොරටු විවර කරදීමත්, ඉගෙනීමට හදවතින්ම කැමති සෑම වැඩිහිටියෙකුටම තම හැකියාව වර්ධනය කරගැනීමට පැහැදිලි මාර්ගයක් සැලසීමත්ය. මේවා රාජ්‍ය ප්‍රතිපත්තිවල අත්‍යවශ්‍යම අංග විය යුතුය. එවැනි දෙවන අවස්ථා සෑම වැඩිහිටියෙකුටම විවර කර දීමට අපට හැකි වුවහොත්, ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂරතාවය සංඛ්‍යාලේඛනයක් පමණක් නොව, ජීවිත වෙනස් කරන, සිහින සැබෑ කරන සහ වඩාත් සාධාරණ අනාගතයක් ගොඩනඟන සැබෑ ජාතික ශක්තියක් බවට පත්වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!