24.8 C
Galle

හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන්ට හොර පාරෙන් කෑම සපයන පිරිසක්

Published:

කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පිටතින් කෑම ගැනීම තහනම් කර තිබිය දී කිසියම් කණ්ඩායමක් අනවසරයෙන් සිසුන්ට ආහාර ගෙන ඒමේ සිද්ධියක් අද (13) දක්නට ලැබිණි. මෙලෙස පිටතින් ආහාර ගෙන්වා ගැනීම නීති විරෝධී බව අප කළ විමසීමක දී විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ නිලධාරියකු කීවේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජි‌නේරු පීඨයේ කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වී ඇති අතර මේ වනවිට එම සිසුන්ට පිටතට යාම මෙන්ම පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද සම්පූර්ණයෙන් ම තහනම් කර තිබේ. එසේ වුව ද කිසියම් පිරිසක් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළින් ඇතුළත සිටින සිසුන්ට කෑම සපයන බව අද අප කැමරාවේ සටහන් විය.

ආහාර රැගෙන ආ දෙදෙනා සරොම්වලින් සැරසී සිටි අතර අප සිද්ධිය ඡායාරූපගත කරන බව දැනගත් වහාම ආහාර රැගෙන ආ දෙදෙනා ද ආහාර ලබාගත් සිසුන් ද එතැනින් වේගයෙන් ඉවත් වූයේ වෙනත් භාෂාවකින් ඔවුන් අතර අදහස් ඉක්මණින් හුවමාරු කරගනිමිනි. කීවේ කුමක්දැයි අපට වැටහුණේ නැත.

සිසුන් අතර කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ඉංජිනේරු පීඨයේ සිසුන් කණ්ඩායම්වලට බෙදා ඔවුන් එකිනෙක කණ්ඩායම් හමුවීම ද වළක්වා ඇති අතර සිසුන්ට අවශ්‍ය සියලු ආහාර විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආපනශාලා මගින් සැපයීම සිදුකරයි. පිටත ස්ථානවල නවාතැන් ගෙන සිටි සිසුන්ට ද විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල කාමර පහසුකම් සපයා දී තිබේ. මේ වනවිට එහි අධ්‍යයනය ලබන්නේ තුන්වැනි හා සිව්වැනි වසර සිසුන් පමණි.

Related articles

Recent articles

error: Content is protected !!