24.6 C
Galle

කරාපිටිය ළමා වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුන අතරින් වාට්ටු අංක 02 හි තම දරුවා සමඟ සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල්ප ආරංචිමාර්ග පවසයි. මෙම කාන්තාව ගිංතොට පදිංචි අයෙකි.

නේවාසිකව සිටින සිය දරුවා සමඟ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) ඇය පීසීආර් පරීක්ෂණයකට යොමු කර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. අද ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ මව කොරෝනා ආසාදිත බවයි.

වෛද්‍යවරු පවසන්නේ එම මව මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයකු ද විය හැකි බවයි. කෙසේ වෙතත් මව, දරුවා සහ දරුවාගේ මිත්තණිය මේ වනවිට කොරෝනා සැක රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට යොමුකර සිටින අතර දරුවා සහ මිත්තණියගෙන් ද පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගෙන ඇත.  

මේ වනවිට ළමා ඒකකයට පිටතින් පැමිණීම සහ පිටවීම වළක්වා තාවකාලිකව වසා දමා ඇත. මෙම මව සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය ආශ්‍රිත වූ ආකාරය පිළිබඳ කරන ලද අවදානම් තක්සේරුවේ දී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අවදානම් නොවන බව ද තහවුරු වී තිබේ.

ආසාදිත මවගේ අනෙකුත් පරීක්ෂණ සහ දරුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. වාට්ටුවේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ද වෛද්‍යවරු කියති. කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුනක් ඇති බැවින් අනෙක් වාට්ටු දෙකෙහි රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!