26.8 C
Galle

වෛද්‍ය සැමියාගේ පරිගණකයට හොරෙන් රිංගූ විශේෂඥ වෛද්‍ය බිරිඳට අධිකරණ වාරණයක්

Published:

සැමියාගේ පරිගණකයට බලෙන් ඇතුළු වී තොරතුරු බාගත කිරීම සහ ඔහුගේ කාමරයේ නිරීක්ෂණ උපකරණයක් සවිකිරීම යන චෝදනා එල්ල වූ බිරිඳට ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ඩී.එම්.කොඩිතුවක්කු විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පැමිණිල්ල කළ සැමියා කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර බිරිඳ  උතුරු පළාතේ රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

ඔවුන් දෙදෙනා දික්කසාද වීම සඳහා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

තමන් නිවසේ නොසිටි අවස්ථාවක තම පුද්ගලික පරිගණකයට නීති විරෝධීව ඇතුළු වූ බිරිඳ එහි විවිධ තොරතුරු බාගත කර දුරකථන සංවාද පටිගත කර ඇති බවත් තම කාමරයේ නිරීක්ෂණ උපකරණයක් සවිකර ඇති බවත් සැමියා එල්ල කළ චෝදනාවේ දක්වා ඇත.

තම බිරිඳ විසින් නීතිවිරෝධී අයුරින් සහ කිසිදු අවසරයකින් තොරව තම පරිගණකයට ප්‍රවේශවීම, තොරතුරු රැස් කිරීම මෙන්ම විද්‍යුත් නිරීක්ෂණ උපකරණයක් සවි කිරීම 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ අංක 3 සහ 4 වගන්ති යටතේ වරදක් බව පැමිණිලිකරු අධිකරණයට දැනුම් දී තිබිණි.

එම කරුණු සළකා බැලූ දිසා විිනිසුරුවරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. ඒ අනුව විත්තිකරුට අයත් දත්ත සහ හෝ ලේඛන සහ හෝ කෙටි පණිවුඩ භාවිතා කිරීම සහ ශ්‍රව්‍ය, දෘශ්‍ය, සහ හෝ වෙනත් තොරතුරු භාවිතා කිරීම සහ හෝ එම තොරතුරු ඇය ඇතුළු වෙනත් ඕනෑම තෙවන පාර්ශවයකට බෙදා ගැනීම අධිකරණය විසින් වළක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!