කාන්තාවන් සහ නව යොවුන් වියේ දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ මාධ්‍ය නිලධාරී චාමර කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම්, නිවාරණය සහ මත්ද්‍රව්‍ය පිළිබඳ වගකීම්සහගත වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය. එම වැඩසටහන පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නවතම දත්ත මඟින් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පැවසූ ඒ මහතා, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම දරුවකු මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානමට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව මව්පියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජයම අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය භාවිතය පුද්ගලයකුගේ ශාරීරික සෞඛ්‍යයට පමණක් නොව මානසික යහපැවැත්මට සහ පවුල් ජීවිතයට ද බරපතළ බලපෑම් ඇති කරයි. මොළයේ ක්‍රියාකාරිත්වයට හානි වීම, අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරිත්වය අඩාල වීම, හෘද රෝග සහ ප්‍රජනක සෞඛ්‍ය ගැටලු ඒ අතර වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට ඒවා භාවිතය නතර කළ විට ඉවත් වීමේ ලක්ෂණ, නින්ද නොයාම, මානසික අවපීඩනය සහ චර්යාත්මක වෙනස්කම් ද ඇති විය හැකිය.
මෙහි බලපෑම පුද්ගලයාගෙන් ඔබ්බට ගොස් පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත සමාජයටම පැතිරෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා පවුල් ඒකක තුළ ගැටලු ඇතිවීමත්, ඒ ආශ්රිත සමාජ ගැටලුවලට විසඳුම් සෙවීම දුෂ්කර වීමත් නිවාරණ වැඩසටහන්වල අවශ්‍යතාව ඉස්මතු කරයි.
යොවුන් වියේදී ඇතිවන කුතුහලය, මිතුරන්ගේ බලපෑම සහ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ලැබෙන විවිධ බලපෑම් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ අවදානම් සාධක ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල විවිධ ක්‍රම ඔස්සේ සමාජය ඉලක්ක කරගනිමින් සිටින පසුබිමක දරුවන් එම අවදානමෙන් ආරක්ෂා කරගැනීම මව්පියන්ට, ගුරුවරුන්ට සහ සමස්ත සමාජයටම පැවරෙන වගකීමක් බව ද පෙන්වා දෙන ලදී.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව ප්රවේශයන් හඳුන්වාදීම ද වැඩසටහනේදී සිදු විය. විශේෂයෙන් පාසල් මට්ටමින් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කිරීමත්, දරුවන්ගේ අවදානම් හැසිරීම් කල්තියා හඳුනාගැනීමත් වැදගත් බව අවධාරණය කෙරිණි.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නිවැරදි හා වගකීම්සහගත තොරතුරු සමාජගත කිරීමේදී මාධ්‍යයට ද වැදගත් කාර්යභාරයක් පැවරේ. මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංවේදී තොරතුරු වාර්තා කිරීමේදී පුද්ගලයන් අපකීර්තියට පත් නොවන ආකාරයෙන්, විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන සහ නිවාරණය කෙරෙහි අවධානය යොමු කරමින් වාර්තා කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා සංවර්ධන ඒකකය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී මාධව තුෂාර මහතා ඇතුළු නිලධාරීන් සහ මාධ්‍යවේදීහු සහභාගී වූහ.



