මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම, ඒ පිළිබඳ සමාජයේ පවතින වැරදි මත දුරු කිරීම සහ අවශ්‍ය සහාය ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ගාල්ල ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය සංවිධානය කළ “මානසික සෞඛ්‍ය පාගමන – 2026” අද (16) ගාල්ල නගරයේදී පැවැත්විණි.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව “සිනහව පිටුපස ඇති කතාව” (Story Behind the Smile) යන තේමාව යටතේ සංවිධානය කළ මෙම පාගමනේ ප්‍රධාන අරමුණ වූයේ වැඩිහිටි අවධානය අඩු වීමේ සහ අධි ක්රියාකාරීත්වයේ රෝගය (Adult ADHD), කාන්තා මානසික සෞඛ්‍යය, ළමා මානසික සෞඛ්‍යය සහ සයිකෝසියා (Psychosis) ඇතුළු මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමයි.
“සිනහව පිටුපස ඇති කතාව” යන තේමාව මඟින් බාහිරින් සතුටින් සිටින බව පෙනෙන පුද්ගලයකු වුවද අභ්‍යන්තරයෙන් මානසික පීඩාවන්ට මුහුණ දෙන බව සිහිපත් කරයි. එබැවින් මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම, ඒවා පිළිබඳ විවෘතව කතා කිරීම සහ අවශ්‍ය වෘත්තීය සහාය ලබාගැනීමේ වැදගත්කම සමාජයට සන්නිවේදනය කිරීම මෙම වැඩසටහනේ අරමුණක් විය.
ගාල්ල මහමෝදර රෝහලෙන් ආරම්භ වූ පාගමන කළුවැල්ල හන්දිය, බස් නැවතුම්පොළ ඉදිරිපිට, පොලිසිය සහ ගාල්ල කොටුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට, සමනල ක්‍රීඩාංගණය සහ දුම්රිය ස්ථානය හරහා ගමන් කර ධර්මාපාල උද්‍යානය අසලින් අවසන් විය.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැනුවත් කිරීමේ පාගමනට එක්ව සිටියහ.






