මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම හා අධ්‍යාපනික සුදුසුකම් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව” වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා (14) සිදු කෙරිණි. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රදානත්වයෙන් කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ මෙම ශිෂ්‍යත්ව ප්රදානය, 2006 වසරේ ආරම්භ කළ වැඩසටහනේ වසර 20ක ඉතිහාසය තුළ එක් වසරකදී වැඩිම ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් පිරිනැමූ අවස්ථාව ලෙස වාර්තා වේ. මේ දක්වා මෙම වැඩසටහන යටතේ පිරිනමා ඇති සමස්ත ශිෂ්‍යත්ව සංඛ්‍යාව 1,233කි.
මෙවර ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 54.3ක මුදලක් වෙන්කර තිබීම ද විශේෂත්වයකි. 2023 වසරේදී රුපියල් මිලියන පහක් ද, 2024 වසරේදී රුපියල් මිලියන 2.5ක් ද, 2025 වසරේදී රුපියල් මිලියන හතක් ද වශයෙන් වෙන්කර තිබූ ප්‍රතිපාදන 2026 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.
මෙවර වැඩසටහනේ තවත් වැදගත් වෙනසක් වන්නේ ප්‍රථම වරට ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද ශිෂ්‍යත්ව ලබාදීමයි. ඒ අනුව ආචාර්ය උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ හතක් දක්වා ද, පශ්චාත් උපාධි සහ සාමාන්‍ය උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ 3.5ක් දක්වා ද, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා ද මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.
ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීම සඳහා මෙවර වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබූ බව වාර්තා වේ. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද තේරීම් කමිටුවක් මඟින් තාක්ෂණික සුදුසුකම් ඇගයීම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ශිෂ්‍යත්වලාභීන් 161 දෙනා තෝරාගෙන තිබේ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේදී තාක්ෂණික සුදුසුකම් සහ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සැලකිල්ලට ගත් බවයි. මාධ්‍යවේදීන් තම වෘත්තීය වගකීම් ඉටු කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරමින් ජනතාවට නිවැරදි හා විශ්වාසදායක තොරතුරු ලබාදීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණය වේගයෙන් වෙනස් වන පසුබිමක මාධ්‍යවේදීන් විධිමත් අධ්‍යාපනයකින් මෙන්ම නවීන තාක්ෂණික දැනුමකින් ද සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බවයි. තරුණ පරපුරේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පාසල් මාධ්‍ය ඒකක තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
පිළිගත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන, අර්ධකාලීන, ප්‍රාදේශීය, නිදහස් සහ විදේශීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ට මෙම වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන හා පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසේ.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජිතයෝ ද සහභාගී වූහ.



