27.8 C
Galle

සෞඛ්‍ය ඇමති කරාපිටිය මහාචාර්ය වාට්ටු සංකීර්ණය විවෘත කරයි, වෛද්‍ය සිසුන්ගෙන් විරෝධතාවක්

Published:

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඉදිකළ මහල් දහයකින් සමන්විත මහාචාර්ය වාට්ටු සංකීර්ණය අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. කෙසේ වෙතත්, මෙම විවෘත කිරීමේ උත්සවය දේශපාලන ප්‍රචාරණ කටයුත්තක් සඳහා යොදාගැනීමට විරෝධය පළ කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුහු පසුගිය 11 වැනිදා කරාපිටියේදී විරෝධතාවක නිරත වූහ.

ඇඳන් 300කින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ විශේෂිත නාරිවේද ප්‍රතිකාර ඒකක සඳහා වෙන්කර තිබේ. ඊට අමතරව ශල්‍යාගාර තුනක්, ඇඳන් අටකින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, බාහිර රෝගී සායන කාමර අටක් සහ විශේෂිත සායනික විභාග ශාලාවක් ද ඇතුළත් වේ.

විවෘත කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි සහ කෝප් කමිටුවේ සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාදයට ලක්විය. 2024 වසරේදී යළි ඉදිකිරීම් ආරම්භ කර එහි වැඩ අවසන් කිරීමෙන් පසු අද මෙලෙස ජනතා අයිතියට පත්කර තිබේ. භාණ්ඩාගාරයේ ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති වාර්තාව අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් මිලියන 2,808කි.

මෙම සංකීර්ණය විවෘත කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය නොවැම්බර් 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා තිබූ අතර, පසුදින සවස කරාපිටිය නගරයේදී පන්දම් විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.

ශිෂ්‍ය සංගමය පවසන්නේ ජනතාවගේ බදු මුදල් සහ දෙස් විදෙස් ආධාර මත ඉදිකළ මෙම සංකීර්ණය දේශපාලන පක්ෂයක හෝ දේශපාලනඥයකුගේ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා නොගත යුතු බවයි. විශ්වවිද්‍යාල භූමිය කිසිදු දේශපාලන පක්ෂයක මාධ්‍ය සංදර්ශන පැවැත්වීමේ ස්ථානයක් බවට පත් නොකළ යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

වෛද්‍ය අධ්‍යාපනයේ වියදම් ඉහළ යාම, රෝහල් පද්ධතියේ සම්පත් හා ඖෂධ හිඟය, සෞඛ්‍ය සේවක අවශ්‍යතා පිළිබඳ සමාලෝචනයේ ප්‍රමාදය, අභ්‍යන්තර පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ගේ පත්වීම් ගැටලුව සහ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා වන ERPM විභාගයේ නියාමන ගැටලු ඇතුළු කරුණු රැසකට රජය විසඳුම් ලබාදිය යුතු බව ද ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.

නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරන සිසුහු, කරාපිටිය වෛද්‍ය පීඨය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමට තම දැඩි විරෝධය පළ කර සිටිති.

Related articles

spot_img
error: Content is protected !!