ඉන්දියාවේ නැගෙනහිර හිමාල කඳුකර ප්‍රදේශයෙන් මීට පෙර විද්‍යාත්මකව හඳුනාගෙන නොතිබූ කුඩා අං සහිත ගෙම්බන් විශේෂ පහක් සොයා ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මෙම සොයාගැනීමත් සමඟ එම ගෙම්බන් කාණ්ඩයට අයත් බව දන්නා විශේෂ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.
දිල්ලි විශ්වවිද්‍යාලයේ සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් වසර පහක් පුරා සිදුකළ ක්ෂේත්‍ර පර්යේෂණවලින් මෙම ගෙම්බන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් Jingophrys කාණ්ඩයට අයත් බව තහවුරු කරගෙන ඇත.
මෙම නව විශේෂ අතරින් විශේෂ අවධානයක් දිනාගෙන ඇත්තේ Jingophrys tanogogo නමින් හඳුන්වන ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා අං සහිත ගෙම්බාය. ඉන්දියාවේ ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා බවට හඳුනාගත් පළමු ගෙම්බා මෙන්ම, මෙම ගෙම්බා අයත් පවුලේ එවැනි ආහාර රටාවක් වාර්තා වූ පළමු සාමාජිකයා ද මෙය බව පර්යේෂකයෝ පවසති.
අලුතින් හඳුනාගත් අනෙකුත් විශේෂ වන්නේ Jingophrys taniitatii, Jingophrys siangensis, Jingophrys hrdy සහ Jingophrys wularsoni යන ගෙම්බන්ය.
මෙම පර්යේෂණය මෙහෙයවූ හාවඩ් විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය සොනාලි ගාර්ග් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා සහ අඩුවෙන් අධ්‍යයනය කර ඇති සතුන් තුළ පවා සැලකිය යුතු පරිණාමීය වෙනස්කම් සිදුවිය හැකි බව මෙම සොයාගැනීමෙන් පැහැදිලි වන බවයි.
පර්යේෂකයන් පවසන්නේ වසර මිලියන ගණනක් පුරා හිමාල කඳු පන්තිය ඉහළට එසවීම සහ ආසියානු මෝසම් දේශගුණ රටාව ගොඩනැගීමත් සමඟ මෙම ගෙම්බන් කාණ්ඩය වේගයෙන් විවිධ විශේෂ බවට පරිණාමය වී ඇති බව ඩීඑන්ඒ විශ්ලේෂණ මඟින් හෙළි වූ බවයි.
මෙම පර්යේෂණයට අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන ප්‍රාදේශීය ගෝත්‍රික ප්රජාවන්ගෙන් ද වැදගත් සහායක් ලැබී තිබේ. ඔවුන්ගේ ක්ෂේත්‍ර දැනුම සහ සහාය මෙම සොයාගැනීම් සඳහා අත්‍යවශ්‍ය වූ බව පර්යේෂකයෝ සඳහන් කරති. එම ප්‍රජාවන්ට ගෞරව කිරීමක් ලෙස ඇතැම් ගෙම්බන් විශේෂ නම් කර තිබීම ද විශේෂත්වයකි.
උදාහරණයක් ලෙස Jingophrys taniitatii ගෙම්බාගේ නම එම ප්‍රදේශයේ ටානි ගෝත්‍රික ප්‍රජාවේ නම සහ ප්‍රාදේශීය අපටානි භාෂාවෙන් ගෙම්බා හැඳින්වීමට භාවිත කරන ‘ටට්ටි’ යන වචනය එක් කිරීමෙන් සකස් කර ඇත.
නැගෙනහිර හිමාලය ලොව ඉහළ ජෛව විවිධත්වයක් සහිත කලාපයක් වුවද, එහි ඇතැම් දුරස්ථ වනාන්තර තවමත් ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය කර නොමැත. ඇතැම් නව ගෙම්බන් විශේෂ අභිජනන සමයේ කෙටි කාලයක් තුළ පමණක් දක්නට ලැබෙන බැවින් ඒවා පිළිබඳ තවත් පර්යේෂණ අවශ්‍ය බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙම පර්යේෂණය නොවැම්බර් 11 වැනිදා Royal Society Open Science විද්‍යාත්මක සඟරාවේ පළ කර තිබේ. නව ගෙම්බන් විශේෂවල ජීව විද්‍යාව සහ සංරක්ෂණ අවශ්‍යතා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.



