ඉතාලියේ පාසල් 300කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ තර්ජන ඇතුළත් ඊමේල් පණිවුඩ ලැබී ඇතැයි වාර්තා වේ. තර්ජන ලැබුණු පාසල් කිහිපයක සිසුන් සහ කාර්ය මණ්ඩලය පූර්වාරක්ෂාවක් ලෙස තාවකාලිකව ඉවත් කර තිබේ.
ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ලැබී ඇති තර්ජන ව්‍යාජ ඒවා විය හැකි බවයි. රෝමය, නේපල්ස්, විචෙන්සා, ෆ්ලොරන්ස්, පීසා සහ ට්‍රයිස්ටේ ඇතුළු නගර ගණනාවක පාසල් වෙත මෙලෙස ඊමේල් ලැබී තිබේ.
ආරක්ෂක පරීක්ෂණ සිදු කරන අතරතුර පාසල් කිහිපයක සිසුන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇත. කෙසේ වෙතත්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පැවසුවේ මේ දක්වා සිදු කළ පරීක්ෂණවලින් “සැබෑ හා නිශ්චිත අවදානමක්” පිළිබඳ සාක්ෂි හමු වී නොමැති බවයි.
පරීක්ෂණ අවසන් කළ ඇතැම් ප්‍රදේශවල පාසල් නැවත විවෘත කර සිසුන්ට පන්තිවලට පැමිණීමට අවසර ලබා දී තිබේ. රෝම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටී.
ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගුවිඩෝ ක්‍රොසෙටෝ පැවසුවේ මෙම තර්ජන ජනතාව අතර බිය සහ කලබලය ඇති කිරීමේ අරමුණින් සිදු කරන ක්‍රියාමාර්ගයක කොටසක් විය හැකි බවයි. එහෙත් එම ක්‍රියාවලිය පිටුපස සිටින පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
උතුරු අයර්ලන්තයේ පාසල් කිහිපයකටද තර්ජනාත්මක ඊමේල් ලැබී ඇති අතර, එය විශ්වසනීය තර්ජනයක් ලෙස නොසලකන බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඉතාලිය සහ උතුරු අයර්ලන්තය අතර ලැබුණු පණිවුඩ එකිනෙකට සම්බන්ධද යන්න මෙතෙක් තහවුරු වී නැත.



