30.3 C
Galle

නිතර ඇස් කණ්ණාඩි මාරු කරන දරුවන් ගැන අවධානයෙන් ඉන්න – කෙරටකෝනස් රෝගය විය හැකියි

Published:

වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවකුට භාවිත කරන ඇස් කණ්ණාඩියේ කාච නිතර නිතර වෙනස් කිරීමට සිදුවන්නේ නම් එය කෙරටකෝනස් (Keratoconus) නමැති අක්ෂි රෝගයේ ලක්ෂණයක් විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස අක්ෂි වෛද්‍ය විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය කේ.ආර්. දයාවංශ මහතා පවසයි.

වයස අවුරුදු 8ත් 25ත් අතර දරුවන් හා තරුණයන් අතර මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්, එය ක්‍රමයෙන් වර්ධනය වී පෙනීම දුර්වල කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

ලෝක කෙරටකෝනස් දිනය නිමිත්තෙන් රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමින් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කෙරටකෝනස් රෝගයේදී ඇසේ ඉදිරිපස ඇති පැහැදිලි පටලය වන ස්වච්ඡය තුනී වී කේතුවක හැඩයට ඉදිරියට නෙරා ඒම සිදුවේ. එම තත්ත්වය නිසා පෙනීම දුර්වල වීම, රූප ඇද වී පෙනීම, ආලෝකයට සංවේදීතාව වැඩි වීම, ද්විත්ව හෝ සෙවණැලි රූප පෙනීම සහ රාත්‍රියේදී පෙනීම අඩු වීම වැනි ලක්ෂණ ඇති විය හැකිය.

නිතර ඇස් කණ්ණාඩිවල කාච බලය වෙනස් කිරීමට සිදුවීම ද මෙම රෝගයේ වැදගත් අනතුරු ඇඟවීමේ ලක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය දයාවංශ මහතා පෙන්වා දුන්නේය.

රෝගය මුල් අවධියේදී හඳුනාගැනීමෙන් ඇසේ පෙනීම තවදුරටත් දුර්වල වීම වළක්වා ගැනීමට ප්‍රතිකාර කළ හැකි නමුත්, රෝගය උත්සන්න වී පෙනීම බරපතළ ලෙස හානි වූ පසු ප්‍රතිකාර කිරීම වඩාත් සංකීර්ණ වන බව ද ඔහු පැවසීය. ඇස් කණ්ණාඩි භාවිතයෙන් හෝ සාමාන්‍ය කාචයක් බද්ධ කිරීමෙන් පමණක් මෙම රෝගය සුව කළ නොහැකි බව ද ඒ මහතා අවධාරණය කළේය.

පවුලේ කෙරටකෝනස් රෝගීන් සිටීම, නිතර ඇස් පිරිමැදීම, දිගුකාලීන අසාත්මික අක්ෂි රෝග පැවතීම, ඩවුන් සින්ඩ්‍රෝමය සහ ඇතැම් සම්බන්ධක පටක ආබාධ තිබීම රෝග අවදානම ඉහළ යාමට බලපාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, පාසල් දරුවන්ගේ අක්ෂි සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් වෛද්‍ය පරීක්ෂණවලදී සිදුකරන අක්ෂි පරීක්ෂාවන්ට දරුවන් අනිවාර්යයෙන් යොමු කළ යුතු බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

පාසල්වල පළමු, හතරවන සහ හත්වන ශ්‍රේණිවලදී පැවැත්වෙන වෛද්‍ය සායන සඳහා දරුවන් යොමු කිරීමට ඇතැම් මවුපියන් උනන්දුවක් නොදක්වන බව පෙන්වා දුන් ඒ මහතා, එමඟින් දරුවන්ගේ අක්ෂි රෝග මුල් අවධියේදී හඳුනාගැනීමේ අවස්ථා මඟහැරී යා හැකි බව ද සඳහන් කළේය.

එබැවින් දරුවකුගේ පෙනීමේ වෙනසක් හෝ ඇස් කණ්ණාඩිවල කාච බලය නිතර වෙනස් කිරීමට සිදුවීමක් දක්නට ලැබේ නම්, ඒ සම්බන්දව අවධානය යොමුකර අක්ෂි වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීම වැදගත් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!