ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්‍රදේශයේ පැවැති කඨින පෙරහරක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ.
සිද්ධිය නොවැම්බර් 9 වැනිදා රාත්‍රියේ සිදුව ඇති අතර, මියගිය සිසුවා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු තලල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, මියගිය සිසුවා සහ තවත් පිරිසක් අතර මීට පෙර පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. එම ආරවුල සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වූ එකක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගන්දර කන්දගොඩැල්ල, ගම්දොරගම සහ දෙව්ගම්පුර ප්‍රදේශ හරහා කඨින පෙරහර ගමන් කරමින් තිබියදී, දන්සලක් අසලදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. මෙම ගැටුම දුරදිග යාමෙන් සිසුවාට පහරදී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු, ඔවුන්ගේ මව්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු සොයා ගන්දර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසින් දුටු බව කියන පුද්ගලයන් පස්දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විමර්ශන අනුව, සිසුවාට තියුණු ආයුධවලින් සහ හෙල්මට්වලින් පහරදී ඇති බව සඳහන් වේ. පේපර් කටර් එකක් සහ කුඩා ප්‍රමාණයේ පිහියක් වැනි ආයුධ භාවිත කළ බවටද ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ මව්වරුන් සිසුවා අල්ලාගෙන සිටි බවට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුවෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත නිවාසගත කර ඇත. නොවැම්බර් 10 වැනිදා මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



