දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ අතර, බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බවත්, දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් අදාළ ආයතන සඳහන් කරයි.
අද (11) පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියට අනුව උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍රීය කාලගුණ අනාවැකි අංශය අද (11) පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ නම් කළ මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
දින තුනක පුරෝකථනයට අනුව පළමු දිනයේදී එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් ගන්නා අතර ඇතැම් අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකිය. දෙවැනි දිනයේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් ගන්නා අතර ඇතැම් විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි විය හැකි බව අනාවැකියේ සඳහන් වේ. එමඟින් මුහුද විටෙක රළු සහ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ. තෙවැනි දිනයේදී ද එම මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පැවතිය හැකි බව සඳහන් වේ.
තවද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට දෙවැනි මට්ටමේ ඇම්බර් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙරණියගල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරළේ ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, ඇලපාත, අයගම සහ වැලිගෙපොළ ප්‍රදේශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
මීට අමතරව බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පළමු මට්ටමේ කහ පැහැති නායයෑම් අනතුරු ඇඟවීම් ද දීර්ඝ කර තිබේ.
අධික වැසි තවදුරටත් පවතින්නේ නම් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව පූර්ව නායයෑම් ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානම් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.



