27.1 C
Galle

ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අල්ලයි

Published:

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 301ක් සොයා ගෙන ඇති අතර යාත්‍රාවේ සිටි 7 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.  

මෙවැනි ධීවර යාත්‍රාවක් මගින් හෙරොයින් තොගයක් රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව පසුගිය අගෝස්තු 12 වැනි දා සිට නාවික හමුදාවේ සමුදුර නෞකාව සහ තවත් යාත්‍රා කිහිපයක් එක දිගට රැකවල් ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කියා සිටියේ ඉතාමත් වෙහෙසකර මෙහෙයුමකින් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මෙහෙයුමට සහභාගී වූ සියලු නිලධාරීන්ට එම කැපවිම සම්බන්ධයෙන් ස්තූති කරන බව ද ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ හෙරොයින් තොගය සමුදුර නෞකාව මගින් කොළඹ වරායට ගෙනවිත් තිබිණි. සැකකරුවන් සහ හෙරොයින් තොගය නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.

අත්අඩංගුවට පත්වූ අයගෙන් සිව්දෙනෙක් පාකිස්තාන ජාතිකයින් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!