28.7 C
Galle

වාර්තාකිරීම නවත්වන්න යැයි, මාධ්‍යවේදී රාහුල් සමන්තට, දුමින්ද සිල්වාගෙන් බලපෑම

Published:

අම්බලන්තොට ප්‍රදේශයේ වැලි ගොඩදැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කරමින් සිටිය දී තම දුරකථනයට ඇමුතූ දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම වාර්තාකිරීම නවතා දමන ලෙස බලපෑමක් කළ බව මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා තමන් හිරු නාලිකාවේ රෙනෝ ද සිල්වාගේ මල්ලී බව ද දුරකථනයෙන් රාහුල් සමන්තට පවසා ඇත. එමෙන් ම මේ දුරකථන අංකය අවශ්‍යනම් පරීක්ෂාකර තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ද ඔහු දැනුම් දෙයි.

දුමින්ද සිල්වා විසින් රාහුල් සමන්තට ලබාදුන් ඇමතුම

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙරට නිදහස් මාධ්‍යවේදියෙකි. ගවේෂණාත්මක මාධ්‍යවාර්තාකරණයේ යෙදී සිටින රාහුල් වැලි ගොඩදැමීමේ ජාවාරම් සම්බන්ධයෙන් දිගින් දිගටම අනාවරණයන් රැසක් කිරීමට ද කටයුතු කළේය. අද (16) ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනයේ අම්බලන්තොට වැලි ගොඩදමන ස්ථානයයක සිදුකළ ස්ථානීය පරීක්ෂණයකට අදාල දර්ශන ලබා ගැනීම සඳහා ඔහු එහි ගොස් සිටිය දී ‍දුමින්ද සිල්වා විසින් මෙලෙස ඔහුට මාධ්‍ය වාර්තාකරණයෙන් වළකින ලෙස බලපෑම් කර තිබිණි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් එම දුරකථන ඇමතුමේ පටිගත වූ හඬ පටය අප වෙත එවා ඇත. ඔහු පවසන්නේ තමන් මේ දුරකථන අංකය පිළිබඳ සොයා බැලීමේ දී එය දුමින්ද සිල්වාගේ බව තහවුරු වූ බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකුද වන දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව මත නිදහස් ව තිබෙන පසුබිමක මෙවැනි සිදුවීමක් සුළුකොට තැකිය නොහැකි බවයි.

එමෙන්ම ඔහු, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයට සම්බන්ධ තැනැත්තෙකු ලෙස මාධ්‍යවේදියෙකුට මෙලෙස බලපෑම් කිරීම ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන අනිසි අතපෙවීම් විදහා දැක්වෙන, හෙලා දැකිය යුතු  අශෝභන සිදුවීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.  

රාහුල් සමන්තගේ වාර්තාකරණයට අදාළ රජයේ ආයතන ඔහු පිළිබඳ තොරතුරු ජාවාරම්කරුවන්ට හා වෙනත් පාර්ශවවලට ලබා දීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටී.

Related articles

error: Content is protected !!