27.1 C
Galle

ජොන්ස්ටන් අත්අඩංගුවට ගනී. අද තවත් වරෙන්තුවක්

Published:

කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී සොයාගත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (23) පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) ජොන්ස්ටන් ප්‍රනාන්දු තම නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි.

ඉන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද අද (23) වරෙන්තුවක් නිකුත් කර තිබුණි. 

සතොස සේවකයන් ඔවුන්ට නියමිත රාජකාරීවලින් ඉවත්කර වෙනත් කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔහු ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටි බවත් එහි දී අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.

කොළඹ මහාධිකරණයේ අදාළ නියෝගය නිකුත්වන මොහොත වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවේ පසු විය.

Related articles

spot_img
error: Content is protected !!