ලෝක බලශක්ති ඉතිහාසයේ බිහිසුණුම මතකය වන්නේ දහනවසිය හැත්තෑවේ දශකයයි. එදා ලෝකය පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් බලවත් රටවල ආර්ථිකයන් පවා දණගැස්වූ ඒ අතීත අර්බුදය සහ වර්තමානයේ ඉරාන ඊශ්‍රායල ගැටුම හමුවේ මතු වී ඇති තර්ජනය පිළිබඳව අද වන විට මුළු මහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ.
දහනවසිය හැත්තෑවේ දශකය යනු තෙල් මිල අහස උසට ඉහළ ගිය අතරම දියුණු රටවල පවා ජනජීවිතය අඩපණ වූ යුගයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී ලෝකයම හෙල්ලූ බලශක්ති අර්බුදයන් හටගත්තේය. එක්දහස් නවසිය හැත්තෑතුන වසරේ ඔක්තෝබර් මාසයේදී ඇති වූ අරාබි තෙල් සම්බාධකය මෙහි පළමු අවස්ථාවයි. මෙම අර්බුදය ආරම්භ වූයේ දේශපාලන තීරණයක් ලෙසිනි.
එකල පැවති යොම් කිප්පූර් යුද්ධයේදී ඊශ්‍රායලයට සහය දුන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එරෙහිව අරාබි තෙල් නිෂ්පාදනය කරන රටවල් තෙල් සම්බාධක පැනවූ අතර ඒ සමඟම ඔවුහු තෙල් නිෂ්පාදනය ද සැලකිය යුතු ලෙස කපා හැරියහ. මෙහි ප්‍රතිඵලය වූයේ මාස කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල සිව් ගුණයකින් ඉහළ යෑමයි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල පවා ඉන්ධන සලාක ක්‍රමයට ලබා දීමට සිදු වූ අතර දරුණු උද්ධමනය හමුවේ ව්‍යාපාර වැසී ගොස් රැකියා වියුක්තිය දරුණු ලෙස ඉහළ ගියේය. බ්‍රිතාන්‍යයේ ටෙඩ් හීත්ගේ රජය පෙරළීමට පවා මෙම ආර්ථික කඩාවැටීම ප්‍රබල ලෙස බලපෑවේය.
ඉන්පසුව පළමු අර්බුදයෙන් යම් තරමකට ගොඩ එමින් සිටි ලෝකයට එක්දහස් නවසිය හැත්තෑනවය වසරේදී යළිත් මරු පහරක් එල්ල වූයේ ඉරාන විප්ලවයත් සමඟ එරට තෙල් නිෂ්පාදනය අඩාල වීම නිසාය. මෙය දෙවන තෙල් කම්පනය ලෙස හැඳින්වෙන අතර එමගින් ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් කළේය.
වර්තමානයේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන යුදමය තත්ත්වය නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය මාසයක් තිස්සේ වසා දමා තිබේ. මෙය හැත්තෑවේ දශකයේ අර්බුදයට වඩා දරුණු විය හැකි බවට විශේෂඥයන් පවසන්නේ කරුණු කිහිපයක් නිසාය. ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් පරිමාණයයි. හැත්තෑවේ දශකයේදී ලෝක තෙල් සැපයුම අඩාල වූයේ සියයට පහත් හතත් අතර ප්‍රමාණයකිනි. නමුත් වර්තමානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක තෙල් සැපයුමෙන් සියයට විස්සක්ම ඇනහිට තිබේ. මෙය අතීත අර්බුදයට වඩා තුන් ගුණයක පමණ විශාලත්වයකින් යුක්තය.
එසේම අද වන විට අප තෙල් මත පමණක් නොව ස්වාභාවික වායු සහ අනෙකුත් පිරිපහදු කළ නිෂ්පාදන මතද දැඩි ලෙස යැපෙන බැවින් මෙම අවහිරතාවය නිසා තෙල් මිල පමණක් නොව විදුලි ගාස්තු සහ අනෙකුත් බලශක්ති පිරිවැයද දැවැන්ත ලෙස ඉහළ යා හැක. නාවික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වන විටත් පිරිපහදු මධ්‍යස්ථාන වෙත තෙල් ගලා ඒම නතර වෙමින් පවතින බවයි. හෙට දිනයේ මෙම සමුද්‍ර සන්ධිය විවෘත කළද දැනට සිදු වී ඇති අවහිරතාවයේ බලපෑම තවත් වසරක පමණ කාලයක් පවතිනු ඇත.
කෙසේ වෙතත් හැත්තෑවේ දශකයට වඩා අද ලෝකය යම් ප්‍රමාණයකට ශක්තිමත්ය. බොහෝ රටවල් සතුව හදිසි තෙල් සංචිත පවතින අතර බලශක්තිය භාවිත කරන ආකාරය පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් ඇත. එමෙන්ම ලෝකය දැන් තෙල් මතම පමණක් යැපෙන්නේ නැත. එනමුත් වර්තමාන අර්බුදයේ පරිමාණය ඉතා විශාලය.
ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ මෙම තත්ත්වය ඉක්මනින් සමනය නොවුවහොත් විශේෂයෙන්ම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දරුණු උද්ධමනයකට සහ ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. අතීතයේදී මෙන්ම මෙවරත් බලශක්ති අර්බුදය ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව නිසැකය.


