27.8 C
Galle

ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව

Published:

පසුගිය සති කිහිපය පුරාම ශ්‍රී ලාංකික අප සැවොම අත්විඳිමින් සිටින්නේ සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල් මාස වලදී දැනෙන රස්නයට වඩා දරුණු, ඇඟට පවා දරාගැනීම අපහසු උණුසුමකි. සෙවණක සිටියත් දහඩිය දමන, මඳ සුළඟක්වත් නැති මෙම පීඩාකාරී කාලගුණයට සැබෑ හේතුව කුමක්ද? මෙය හුදෙක් සූර්යයා මුදුන් වීම නිසා සිදුවන්නක්ද, නැතිනම් ගෝලීය දේශගුණික විපර්යාසයක බියකරු බලපෑමක් ද යන්න අප විමසා බැලිය යුතුය.

අප බොහෝ දෙනෙකුට ඇති ගැටලුව වන්නේ උෂ්ණත්වමානයේ සෙල්සියස් අංශක 30ක් ලෙස සටහන්ව තිබුණද, අපේ ශරීරයට එය අංශක 40කට වඩා වැඩි රස්නයක් ලෙස දැනෙන්නේ ඇයිද යන්නයි.

වෙනදාට වඩා ඇඟට දැනෙන මේ අසාමාන්‍ය උණුසුම හුදෙක් අපේ රටට පමණක් සීමා වූවක් නොව, එය ගෝලීය කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයකි. විශේෂයෙන්ම ‘එල් නිනෝ’ (El Niño) සහ ‘ලා නිනා’ (La Niña) යන සංකීර්ණ විද්‍යාත්මක සංසිද්ධීන් මේ පිටුපස ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙවර දැඩි රස්නයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පැසිෆික් සාගරයේ සිදුවන ‘එල් නිනෝ’ (El Niño) සංසිද්ධිය බව සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල මහතා පවසයි.

සුමතිපාල මහතා පවසන පරිදි, එල් නිනෝ තත්ත්වයකදී සාගරයේ හමන සාමාන්‍ය වාණිජ සුළං ධාරා දුර්වල වී උණුසුම් මුහුදු ජලය අපේ කලාපය දෙසට ගලා එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන මෝසම් වර්ෂාව අඩුවී වියළි හා උණුසුම් කාලගුණයක් නිර්මාණය වේ.

මොකක්ද මේ එල් නිනෝ සහ ලා නිනා?

පැසිෆික් සාගරය ආශ්‍රිතව සිදුවන දේශගුණික වෙනස්වීම් දෙකක් වන එල් නිනෝසහ ලා නිනාලෝකයේ කාලගුණයට සෘජුවම බලපායි. ස්පාඤ්ඤ භාෂාවෙන් කුඩා පිරිමි දරුවායන අරුත දෙන එල් නිනෝ තත්ත්වයකදී, සාමාන්‍යයෙන් හමන වාණිජ සුළං (Trade winds) දුර්වල වී සාගරයේ උණුසුම් ජල ධාරා නැගෙනහිර දෙසට එනම් ඇමරිකානු වෙරළ දෙසට ගලා එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යන අතර, එය ඇතැම් ප්‍රදේශවලට තද වැසි සහ ගංවතුරද, ආසියාව වැනි කලාපවලට අධික රස්නය සහ නියඟයද ඇති කිරීමට හේතු වේ.

මෙයට ප්‍රතිවිරුද්ධ සංසිද්ධිය කුඩා ගැහැණු දරුවායන අරුත දෙන ලා නිනා (La Niña) ලෙස හැඳින්වේ. ලා නිනා තත්ත්වයකදී වාණිජ සුළං වෙනදාටත් වඩා ප්‍රබල වන අතර, උණුසුම් ජලය ආසියාව දෙසට තල්ලු කරමින් ඇමරිකානු වෙරළ තීරයට ගැඹුරු මුහුදේ ඇති සීතල, පෝෂ්‍ය පදාර්ථ පිරි ජලය මතුපිටට රැගෙන එයි. මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා සීතල කාලගුණික රටාවක් නිර්මාණය කරයි.

විද්‍යාත්මක දත්ත වලට අනුව, එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් සාමාන්‍යයෙන් වසර 2 සිට 7 දක්වා කාලයකට වරක් ඇති වේ. මේවා නිශ්චිත කාලසටහනකට අනුව සිදු නොවන අතර සාමාන්‍යයෙන් මාස 9 සිට 12 දක්වා කාලයක් පවතී. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව, අවසන් වරට ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වූයේ 2023 වසරේ මැද භාගයේදී වන අතර, එහි උපරිම බලපෑම 2024 වසරේ මුල් මාස කිහිපය දක්වාම ලෝකයට දැනෙන්නට විය. සාමාන්‍යයෙන් ලා නිනා තත්ත්වයට වඩා එල් නිනෝ තත්ත්වය නිතර ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.

සරලවම කිවහොත්, පැසිෆික් සාගරයේ මතුපිට ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් වීම ‘එල් නිනෝ’ ලෙසත්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා සිසිල් වීම ‘ලා නිනා’ ලෙසත් හැඳින්වේ. ලංකාව වැනි රටවලට මෙහි බලපෑම සෘජුවම දැනේ. එල් නිනෝ තත්ත්වයක් පවතින වසරවලදී අපේ රටේ ‘යල’ කන්නයේදී (අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා) වර්ෂාපතනය අඩුවී දැඩි වියළි කාලගුණයක් ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. 2026 වසරේ මේ ගෙවී යන්නේ එවැනි රළු කාලගුණික අවධියකි.

සාගර උෂ්ණත්වය සම්බන්දව අදහස් දක්වමින් ජර්මනියේ පොට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ ෆෙන්යින් කායි පෙන්වා දෙන්නේ, වෙරළබඩ සාගර කලාප රත්වීම සහ ගොඩබිම ඇතිවන තෙතමනය සහිත තාප තරංග අතර ඉතා ප්‍රබල සබඳතාවක් පවතින බවයි.

ඇයි අපිට මෙච්චර රස්නයක් දැනෙන්නේ?

කාලගුණ විද්‍යා වාර්තාවලට අනුව, පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-34 මට්ටමේ තිබුණද, අපේ ශරීරයට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇත. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන අතර අහසේ වලාකුළු අඩු වීම, අධික ආර්ද්‍රතාවය සහ සුළං අඩුවීම මේ අතරින් ප්‍රධාන වේ. අහසේ වලාකුළු අඩු නිසා සෘජු හිරු එළිය කෙලින්ම පොළොවට පතිත වීම සිදුවන අතර වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නිසා දහඩිය ඉක්මනින් පිට වීම සිදු නොවේ. එවිට ශරීරය සිසිල් වීම පමාවී අපට අධික තෙහෙට්ටුවක් දැනේ. සුළං හැමීම අඩු වීම නිසා පරිසරයේ රැඳී ඇති තාපය ඉවත් නොවේ.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙය ‘තාප දර්ශකය’ (Heat Index) මත තීරණය වන්නක් බවයි. ඒ මහතාට අනුව, පරිසර උෂ්ණත්වය මෙන්ම වායුගෝලයේ ආර්ද්‍රතාව හෙවත් ජල වාෂ්ප ප්‍රමාණය සහ සුළඟේ වේගය යන සාධක තුනම අපට දැනෙන රස්නය තීරණය කරයි.

“උදාහරණයක් ලෙස පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වුවද, ආර්ද්‍රතාව හා සුළඟ අනුව ගණනය කළ විට එය අපේ සිරුරට දැනෙන්නේ අංශක 35ක රස්නයක් ලෙස විය හැකියි.” යනුවෙන් ඒ මහතා පවසයි.

පවතින උණුසුම තීව්‍ර වීමට බලපාන තවත් සුවිශේෂී සහ කාලීන කරුණක් මහාචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල මහතා මෙලෙස පැහැදිලි කරයි:

වර්තමානයේ මැදපෙරදිග වැනි කලාපවල සිදුවන දරුණු යුදමය ගැටුම් සහ බෝම්බ පිපිරීම් නිසා වායුගෝලයට අතිවිශාල විෂ වායු, දූවිලි සහ කාබන් අංශු ප්‍රමාණයක් එක් වෙනවා. මේවා වායුගෝලයේ ඉහළ ස්ථරවල තැන්පත් වී පෘථිවිය වටා හරියට බ්ලැන්කට් එකක්‘ (Blanket) දැම්මා වැනි ආවරණයක් නිර්මාණය කරනවා. එවිට සූර්ය රශ්මියෙන් රත් වන පොළොවෙන් පිටවන තාපයට නැවත අභ්‍යවකාශයට යාමට නොහැකි වී වායුගෝලය තුළම සිරවී පවතිනවා. මේ බ්ලැන්කට් ආචරණයනිසා අපට දැනෙන රස්නය වෙනදාට වඩා කිහිප ගුණයකින් වැඩි වී තිබෙනවා.”

මෙම තත්ත්වය කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනවද අපේ මෝසම් රටාවන්ට පවා බලපෑම් කළ හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව වැනි රටවලින් හමා එන දූවිලි මිශ්‍ර සුළං හරහා මෙම බලපෑම සෘජුවම ශ්‍රී ලංකාවටද ගලා එන බව අප අමතක නොකළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.

මාර්තු, අප්‍රේල් දැඩි රස්නයට බලපාන සුවිශේෂී හේතු 4ක්

  1. සූර්යයා මුදුන් වීම: අප්‍රේල් 5 සිට 15 දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම මුදුන් වීම නිසා පෘථිවියට ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය උපරිම වේ. මෙය සෘජු තාපය ඉහළ යාමට මූලික හේතුවයි.
  2. අන්තර් මෝසම් සහ අධික ආර්ද්‍රතාව: මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලය තුළ සුළඟේ වේගය ඉතා අඩුය. මේ නිසා ජලාශවලින් වාෂ්ප වන ජල වාෂ්ප අවට වායුගෝලයේම රැඳී පවතින අතර, ආර්ද්‍රතාව 80%-90% දක්වා ඉහළ යයි. මෙය සිරුරේ දහඩිය වාෂ්ප වීම වළක්වා ‘තාප දර්ශකය’ (Heat Index) භයානක ලෙස ඉහළ නංවයි.
  3. එල් නිනෝ (El Niño) ආචරණය: පැසිෆික් සාගරය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා ඇතිවන එල් නිනෝ තත්ත්වය හේතුවෙන්, වෙනදාට වඩා උණුසුම් වායු ධාරා ශ්‍රී ලංකාව දෙසට ගලා එයි. මෙය අප්‍රේල් රස්නය තවදුරටත් තීව්‍ර කිරීමට ප්‍රධාන සාධකයක් වී තිබේ.
  4. යුධමය බලපෑම සහ බ්ලැන්කට්ආචරණය: මැදපෙරදිග වැනි කලාපවල සිදුවන යුධමය ගැටුම් සහ බෝම්බ පිපිරීම් නිසා වායුගෝලයට එක්වන අතිවිශාල විෂ වායු හා දූවිලි අංශු, පෘථිවිය වටා ‘බ්ලැන්කට් එකක්’ (Blanket) මෙන් ආවරණයක් නිර්මාණය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොළොවෙන් පිටවන තාපය අභ්‍යවකාශයට යාම වැළකී වායුගෝලය තුළම සිරවී පවතී.

 වියළි තාප තරංග පිළිබඳව ජනතාව දැනුවත් වුවද, මෝසම් කාලයේදී ඇතිවන තෙතමනය සහිත රස්නය (Moist Heat) පිළිබඳව ඇති දැනුවත්භාවය අඩු බැවින් එය වඩාත් භයානක විය හැකිය.”  යනුවෙන් අවදානම සම්බන්දව අදහස් දක්වමින් දේශගුණික විද්‍යාඥ අක්ෂේ දියෝරාස් අවධාරණය කරයි.

වාතයේ තෙතමනය අධික වූ විට සිරුරේ දහඩිය වාෂ්ප වීමට නොහැකි වන අතර, එමගින් සිරුරේ සිසිලන පද්ධතිය අඩපණ වී මාරාන්තික තාප කලාන්ත ඇති විය හැක.”රෙඩිං විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් පවසති.

මෙම නවතම පර්යේෂණ පෙන්වා දෙන්නේ වියළි රස්නයට වඩා මෙවැනි තෙතමනය සහිත රස්නය (Moist Heat) මිනිස් සිරුරට ඉතා අන්තරායදායක බවයි. විශේෂයෙන්ම මැයි මස නිරිතදිග මෝසම ආරම්භ වන තෙක් මෙම පීඩාකාරී කාලගුණය පැවතිය හැකි බැවින්, පිපාසය එනතුරු නොසිට වැඩිපුර ජලය පානය කිරීම, ලා පැහැති කපු ඇඳුම් ඇඳීම සහ දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම අපේ සෞඛ්‍යයට අතිශය වැදගත් වේ.

සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වුවත්, වායුගෝලයේ තෙතමනය 50% ඉක්මවා ගියහොත් අපේ සිරුරට දැනෙන රස්නය අංශක 35ක් දක්වා ඉහළ යන්න පුළුවන්. දහවල් කාලයේදී ආර්ද්‍රතාවය 80% – 90% දක්වා වැඩි වන විට දහඩිය වාෂ්ප වීම නතර වී සිරුරේ සිසිලන පද්ධතිය අඩපණ වෙනවා. මෙය හදවතට දැඩි පීඩනයක් ගෙන දෙන අතර මාරාන්තික තාප කලාන්ත පවා ඇති කිරීමට සමත්,” යනුවෙන් අබේසිංහ මහතා අවධාරණය කරයි.

තාප දර්ශකය ගනනය කරන්නේ කෙසේද?

තාප දර්ශකය ගණනය කරනු ලබන්නේ පරිසර උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය (Relative Humidity) යන සාධක දෙකෙහි එකතුවක් ලෙසය. හුදෙක් උෂ්ණත්වය පමණක් මැනීමෙන් මිනිස් සිරුරට දැනෙන සැබෑ තාප පීඩනය තීරණය කළ නොහැකි බැවින්, වායුගෝලයේ පවතින තෙතමනය ද මෙහිදී සැලකිල්ලට ගනී.

මිනිස් සිරුර සිසිල් වන්නේ දහඩිය වාෂ්ප වීමෙනි. නමුත් වායුගෝලයේ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතින විට දහඩිය වාෂ්ප වීමේ වේගය අඩු වී සිරුරේ ස්වභාවික සිසිලන පද්ධතිය අඩපණ වේ. මෙම දත්ත ඇසුරින් සකස් කර ඇති ‘විස්තීර්ණ තාප දර්ශක සටහනට’ (Extended Heat Index Chart) අනුව, ආර්ද්‍රතාවය 80%ක් වන විට සෙල්සියස් අංශක 31කදී පවා භයානක තත්ත්වයන් ඇති විය හැකි අතර, ආර්ද්‍රතාවය 20%ක් තරම් අඩු මට්ටමක පවතී නම් එම අවදානම ඇති වන්නේ උෂ්ණත්වය අංශක 40 පසු කළ විටය. මේ අනුව, ආරක්ෂිත, අවධානය යොමු කළ යුතු, භයානක සහ අතිශය භයානක ලෙස මට්ටම් පහක් යටතේ තාප දර්ශකය ගණනය කර ජනතාව දැනුවත් කරනු ලබයි.

තාප දර්ශකය අනුව ඔබ සුරක්ෂිත විය යුතු ආකාරය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන තාප දර්ශකයේ අගයන් අනුව අපේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. සාමාන්‍යයෙන් මෙම දර්ශකය සෙල්සියස් අංශක 27ත් 38ත් අතර පවතින විට එය සාමාන්‍ය මට්ටමක් ලෙස සැලකෙන නමුත්, අධික වෙහෙසකර කටයුතුවල නිරත වීමෙන් ඉක්මනින් තෙහෙට්ටුව ඇති විය හැකි බැවින් නිතර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම අගය අංශක 39ත් 45ත් දක්වා ඉහළ යන විට එය ‘පරිස්සම් විය යුතු’ (Extreme Caution) මට්ටමකි. එහිදී සිරුරේ මස්පිඩු පෙරළීම සහ අධික ක්ලාන්ත ගතිය ඇති විය හැකි බැවින් අව්වේ වැඩ කිරීම සීමා කළ යුතුය.

තාප දර්ශකය අංශක 46ත් 52ත් අතර අගයක් ගන්නේ නම් එය ඉතා ‘භයානක’ (Danger) තත්ත්වයක් වන අතර, එහිදී තාප කලාන්තය ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බැවින් එළිමහන් කටයුතු අවම කර සිසිල් ස්ථානයක රැඳී සිටිය යුතුය. යම් හෙයකින් මෙම අගය අංශක 52 සීමාව ඉක්මවා ගියහොත් එය ‘අතිශය භයානක’ මට්ටමක් වන අතර, ක්ෂණිකව ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බැවින් වහාම ආරක්ෂිත පියවර ගත යුතුය.

මාරාන්තික තාප කලාන්තයකදී (Heatstroke) කළ යුතු ප්‍රථමාධාර

යම් පුද්ගලයෙකු අධික රස්නය නිසා ක්ලාන්ත වීම, අධික ලෙස දහඩිය දැමීම හදිසියේ නතර වීම, සම රතු වී වියළි ස්වභාවයක් ගැනීම හෝ වමනය වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් එය මාරාන්තික තාප කලාන්තයක (Heatstroke) පූර්ව ලක්ෂණ විය හැකිය. එවැනි හදිසි අවස්ථාවකදී ප්‍රමාද නොවී එම රෝගියා වහාම සිසිල් සෙවණ ඇති ස්ථානයකට ගෙන යා යුතුය. ඔහුගේ ඇඳුම් ලිහිල් කර සිරුරට වතුර ඉසීම හෝ තෙත රෙදි කඩකින් පිසදැමීම මගින් සිරුරේ උෂ්ණත්වය කඩිනමින් පහළ හෙළීමට කටයුතු කළ යුතුය. තාප කලාන්තය යනු වෛද්‍යමය හදිසි අවස්ථාවක් බැවින්, මෙවැනි රෝගියෙකු දුටු සැනින් ප්‍රථමාධාර ලබා දෙන අතරම වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්න. ඒ සඳහා 1990 සුවසැරිය ගිලන් රථ සේවාව හෝ 119 හදිසි ඇමතුම් අංකය සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසුය.

පොදු ආරක්ෂිත උපදෙස්

  • ජලය පානය: පිපාසය එනතුරු නොසිට දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් පානය කරන්න. (පැණි බීම සහ මධ්‍යසාර වෙනුවට පිරිසිදු ජලය හෝ තැඹිලි වැනි ස්වභාවික පාන වර්ග තෝරාගන්න).
  • ඇඳුම් පැළඳුම්: ලා පැහැති, සැහැල්ලු කපු ඇඳුම් භාවිතා කරන්න. එළිමහනට යන විට කුඩයක් හෝ තොප්පියක් භාවිතා කිරීමට අමතක නොකරන්න.
  • විවේකය: එළිමහන් කටයුතුවල නිරත වන්නේ නම්, නිතර නිතර සෙවණ ඇති ස්ථානවල විවේක ගන්න.
  • ආහාර: දිරවීමට අපහසු තෙල් සහ පිටි සහිත ආහාර සීමා කර, එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්න.
  • විශේෂ අවධානය: කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. කිසිවිටෙකත් කුඩා ළමුන් සංවෘත වාහන තුළ තනි කර නොයන්න.

ඉන්දියාවේ අත්දැකීම්වලින් අපට ලැබෙන අනතුරු ඇඟවීම්

අසල්වැසි ඉන්දියාවේ වත්මන් දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකාවටද වැදගත් පාඩම් රැසක් කියා දෙයි. නිරිතදිග මෝසම් කාලය සක්‍රීය වන විට පවා ඉන්දියාවේ මධ්‍යම සහ උතුරු ප්‍රදේශවල අධික තෙතමනය සහිත තාප තරංග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, මෝසම් වැසි අඩුවන කාලසීමාවලදී මෙම දරාගත නොහැකි රස්නය දකුණු සහ නැගෙනහිර ඉන්දියාව දෙසටද ව්‍යාප්ත වේ. විශේෂයෙන්ම සිරුරට දරාගත නොහැකි වැට් බල්බ්‘ (Wet-bulb) උෂ්ණත්ව සීමාවන් සෙල්සියස් අංශක 31.5 ඉක්මවා යාම නිසා, එරට හෘද රෝග සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ මෙම අත්දැකීම් අනුව පෙනී යන්නේ, එළිමහන් ක්‍රීඩා උත්සව සහ දේශපාලන රැස්වීම් වැනි විශාල ජනහමු පැවැත්වීමේදී මෙම “තෙතමනය සහිත රස්නය” (Moist Heat) නිසා මිනිසුන් ක්ලාන්ත වී මියයාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි. මෙම මාරාන්තික තත්ත්වය සති දෙකක සිට හතරක් දක්වා පෙර අනාවැකි පළ කළ හැකි බැවින්, රෝහල් කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පාසල් වේලාවන් වෙනස් කිරීම සහ මහජන ඒකරාශීවීම් කළමනාකරණය කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දීය බලධාරීන් මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වේ.

කාලගුණයේ ඉදිරි වෙනස්වීම් සහ උණුසුම නිමාවන මොහොත

පවතින මෙම දැඩි පීඩාකාරී උණුසුම කෙදිනක නිමාවනු ඇත්දැයි අප සැවොම බලා සිටින්නේ දැඩි අපේක්ෂාවෙනි. කාලගුණ විද්‍යාඥයන්ගේ පුරෝකථනයන්ට අනුව, මෙම තත්ත්වයේ වෙනසක් ඇති වීමට නම් දැනට පවතින සුළං රටාවේ වෙනසක් සිදුවිය යුතුය.

මේ සම්බන්දව හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අබේසිංහ මහතා මෙලෙස පැහැදිලි කරයි,

“පවතින වියළි සුළං රටාව වෙනස් වී, දැනට බංග්ලාදේශය සහ පාකිස්ථානය දෙසින් මෙරටට ගලා එන වියළි සුළං ධාරා වෙනුවට බෙංගාල බොක්ක දෙසින් ජල වාෂ්ප පිරි තෙතමනය සහිත සුළං පැමිණීමත් සමඟ ඉදිරියේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. මෙහිදී අකුණු සහ ටොනේඩෝ වැනි දරුණු කාලගුණික තත්ත්වයන් ගැන ජනතාව අවධානයෙන් සිටීම වැදගත්. කෙසේ වෙතත්, මෙම උණුසුමෙන් පූර්ණ සහනයක් ලැබෙනු ඇත්තේ ලබන මැයි මස නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමඟයි. මෝසම් වැසි සමඟ වායුගෝලයේ රැඳී ඇති අධික ජල වාෂ්ප ප්‍රමාණය ඉවත් වූ විට පමණක් පරිසර උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යනු ඇති.”

මෝසම් සුළඟ සක්‍රීය වීමත් සමඟ වායුගෝලයේ රැඳී ඇති අධික ජල වාෂ්ප ප්‍රමාණය ගසාගෙන ගොස් වැසි ඇද හැලීම ආරම්භ වූ විට, පරිසර උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යනු ඇත. එතෙක් අප කළ යුත්තේ දේශගුණික විපර්යාසයන්හි මෙම අමිහිරි අත්දැකීම් හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සහ කල්පනාකාරීව කටයුතු කිරීමයි.

Related articles

Recent articles

error: Content is protected !!