27.4 C
Galle

ආටෙමිස් II පෘථිවි කක්ෂයෙන් මිදෙයි, මානව වර්ගයා වසර 54කට පසු යළිත් ගැඹුරු අභ්‍යවකාශයට!

Published:

පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සියලු පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ආටෙමිස් II (Artemis II) මෙහෙයුමේ ‘ඔරායන්’ යානය සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන ආරම්භ කර තිබේ. මෙය 1972 වසරෙන් පසු මිනිසෙකු පෘථිවි කක්ෂයෙන් ඔබ්බට, එනම් ගැඹුරු අභ්‍යවකාශයට පිවිසි ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

‘ට්‍රාන්ස් ලූනර් ඉන්ජෙක්ෂන්’ (TLI) – සඳ බලා යන අවසන් තෙරපුම

පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරමින් සිටි ඔරායන් යානය, සඳු දෙසට යොමු කිරීම සඳහා එහි ප්‍රධාන එන්ජිම මිනිත්තු 5යි තත්පර 50ක කාලයක් ක්‍රියාත්මක කරන ලදී. අභ්‍යවකාශ විද්‍යාවේදී Translunar Injection (TLI) ලෙස හඳුන්වන මෙම තීරණාත්මක පියවර අතිශය සාර්ථකව නිම වූ බව නාසා ආයතනය තහවුරු කළේය. මෙම එන්ජින් ක්‍රියාකාරිත්වයත් සමඟ යානයේ වේගය පැයට කිලෝමීටර් දහස් ගණනකින් වැඩි වූ අතර, එය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳ කරා ඇදී යාම ආරම්භ විය.

“මුළු පෘථිවියම එකවර පෙනෙන අපූරු දසුනක්”

යානය පෘථිවියේ සිට ඈතට ගමන් කරද්දී, එහි ජනේලයෙන් පෙනෙන දර්ශනය පිළිබඳව මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් සිය ප්‍රථම වීඩියෝ සාකච්ඡාවේදී අදහස් දැක්වීය. “අපිට දැන් මුළු පෘථිවියම එකම රාමුවක, ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා ඉතා පැහැදිලිව පෙනෙනවා. එය අතිශය විස්මිත දසුනක්. අපි හතරදෙනාම මොහොතකට ගොළු වී ඒ දෙස බලා සිටියා,” යැයි ඔහු පැවසීය.

කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් පාලන මධ්‍යස්ථානය වෙත දන්වා සිටියේ, “මානව වර්ගයාට කළ හැකි දේ අපි නැවතත් පෙන්වා දී තිබෙනවා. අනාගතය පිළිබඳ ඔබේ බලාපොරොත්තු අපව සඳ කරා රැගෙන යනවා,” යනුවෙනි.

ආපසු හැරවිය හැකි ‘Handbrake’ තේරීම

සඳ බලා යන ගමන ආරම්භ කළද, මෙය ආපසු හැරවිය නොහැකි ගමනක් නොවේ. යානයේ යම් දෝෂයක් ඇති වුවහොත් පළමු පැය 36 ඇතුළත ‘Handbrake’ වංගුවක් වැනි ක්ෂණික හැරවුමක් (U-turn) මගින් ගගනගාමීන් යළි පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය සූදානම්ව සිටී. එහෙත් එම කාලය ඉක්මවුවහොත්, වඩාත් ආරක්ෂිතම ක්‍රමය වන්නේ සඳ වටා ගොස් නැවත පෘථිවියට පැමිණීමයි. ඒ සඳහා අවශ්‍ය දහස් සංඛ්‍යාත අනුකරණ (Simulations) පරීක්ෂණ දැනටමත් නිම කර ඇති බව ඔරායන් වැඩසටහන් කළමනාකරු හොවාර්ඩ් හූ සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළ දකින්නට ලැබෙන දේ

ඉදිරි දිනවලදී ගගනගාමීන්ට පෘථිවිය කුඩා සුදු සහ නිල් පැහැති මාබල් බෝලයක් මෙන් පෙනෙනු ඇති අතර, සඳෙහි මතුපිට මහා ගල් කුහර සහිතව ඔවුන් ඉදිරියේ විශාල වනු ඇත. මෙහෙයුමේ හයවන දිනයේදී ඔවුන් තවත් සුවිශේෂී සිදුවීමකට මුහුණ දීමට නියමිතය. එනම්, සම්පූර්ණ සූර්යග්‍රහණයක් අභ්‍යවකාශයේ සිට නැරඹීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. එහිදී සඳ විසින් සූර්යයා සම්පූර්ණයෙන්ම වසා ගන්නා අයුරුත්, සූර්යයාගේ රැස් වළල්ල (Halo) විහිදෙන අයුරුත් ඔවුන්ට දැකගත හැකි වනු ඇත.

මේ වන විට ඔරායන් යානය සඳුගේ අඳුරු පැත්ත බලා ඇදී යමින් පවතින අතර, එය ඇපලෝ 13 යානය තැබූ වාර්තාව ද අලුත් කරමින් මිනිසෙකු පෘථිවියේ සිට ගිය වැඩිම දුර (සැතපුම් 252,799ක්) සනිටුහන් කරනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!