බටහිර බෙංගාලයේ කොල්කටා නුවර වීදි පුරා දැන් ඇසෙන්නේ හුදු දේශපාලන සටන් පාඨ පමණක් නොවේ. බෙංගාල වැසියන්ගේ ප්‍රධාන ආහාරය වන “මාළු” දැන් මැතිවරණ වේදිකාවේ ප්‍රබලම සංකේතය බවට පත්ව තිබේ. භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයින් පවා දැන් නිවෙස් වලට යන්නේ අතේ මාළුවෙකු ද රැගෙන වීම කාගේත් අවධානයට ලක් වූ කරුණකි.
බෙංගාල වැසියන්ට මාළු යනු හුදු කෑමක් පමණක් නොවේ; එය ඔවුන්ගේ ලෙයට, සංස්කෘතියට සහ එදිනෙදා ජීවිතයට බද්ධ වූ අනන්‍යතාවයකි. ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි ප්‍රමුඛ ට්‍රයිනමෝල් කොංග්‍රසය (TMC) මෙවර මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාව වන්නේ “BJP බලයට ආවොත් බෙංගාල වැසියන්ට මාළු කෑම තහනම් කරනු ඇත” යන්නයි.
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ක්‍රියාත්මක වන දැඩි නිර්මාංශ ප්‍රතිපත්ති සහ මස් අලෙවියට පනවා ඇති සීමා මායිම් පෙන්වා දෙමින් මමතා පවසන්නේ, “ඔවුන් [BJP] බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල මාළු කෑමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් බෙංගාලයට ආවොත් ඔබට මාළු, මස් හෝ බිත්තර කන්න ලැබෙන්නේ නැහැ,” යනුවෙනි.
මෙම චෝදනාවෙන් මිදීම සඳහා භාරතීය ජනතා පක්ෂය දැන් අමුතුම උපක්‍රමයක් භාවිතා කරයි. ඔවුන්ගේ අපේක්ෂකයින් වන කෞස්තව් බග්චි සහ රාකේෂ් සිං වැනි නායකයින් ප්‍රසිද්ධියේ මාළු අතැතිව ජනතාව හමුවට යමින් කියා සිටින්නේ තමන් ද බෙංගාල සංස්කෘතියට ගරු කරන, මාළු කන “බෙංගාල වැසියන්” බවයි.
බෙංගාල සංස්කෘතියේ “මාළු සහ බත්” (Mach Bhaat) යනු කිසිදා වෙන් කළ නොහැකි කොටසක් බව පවසන BJP නායකයෝ, මමතා බැනර්ජි නගන චෝදනා හුදෙක් දූෂණ චෝදනාවලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට කරන “බේගල්” බව පවසති. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා මෙම විවාදයට එක්වෙමින් පවසන්නේ වසර 15ක් බලයේ සිටියද බෙංගාලයට අවශ්‍ය මාළු ටිකවත් ප්‍රාන්තය තුළ නිෂ්පාදනය කර ගැනීමට මමතාගේ රජය අපොහොසත් වී ඇති බවයි.
ලෝකයේ තෙවැනි විශාලතම මත්ස්‍ය නිෂ්පාදකයා ඉන්දියාව වුවද, එය බොහෝවිට නිර්මාංෂික රටක් ලෙස හඳුන්වයි. එහෙත් බෙංගාලයේ තත්ත්වය සුවිශේෂී වේ. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව බටහිර බෙංගාලයේ ජනගහනයෙන් 65%කට වඩා වැඩි පිරිසක් සතිපතා මාළු ආහාරයට ගනිති.
බෙංගාල සාහිත්‍යයේ මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ පවා මාළු වැදගත් සංකේතයකි. ප්‍රසිද්ධ මෝහන් බගාන් සහ ඊස්ට් බෙංගාල පාපන්දු සමාජ අතර පවතින එදිරිවාදිකම් පවා පදනම් වී ඇත්තේ ඔවුන් ප්‍රිය කරන මාළු වර්ග (ඉලිෂ් මාළු සහ ඉස්සන්) මතය. මේ නිසාම මාළු යනු බෙංගාල වැසියන්ගේ හද ගැස්ම හඳුනාගත හැකි පහසුම මඟ බව දේශපාලන විචාරකයෝ පවසති.
මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත්, මෙවර බෙංගාල මැතිවරණය ඉතිහාසයට එක්වන්නේ ආහාරය සහ සංස්කෘතිය දේශපාලන බලය ලබාගැනීමේ ප්‍රබල මෙවලමක් කරගත හැකි ආකාරය ලොවටම පෙන්වා දෙමිනි.


