30.7 C
Galle

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය පහළට

Published:

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ මට්ටම ඉහළ ගොස් ඇති බැවින් සංවේදී පුද්ගලයන්ට අවධානයෙන් කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙයි.

වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලදී PM2.5 සහ PM10 ලෙස හැඳින්වෙන සියුම් දූවිලි අංශු මට්ටම ඉහළ ගොස් ඇති බව අධිකාරිය පවසයි. කොළඹට අමතරව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, මහනුවර සහ හලාවත යන ප්‍රදේශවල ද වායු තත්ත්වය පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට පිටතින් පැමිණෙන සුළං ධාරා සමඟ සියුම් දූවිලි අංශු වායුගෝලයට එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළ ද මෙවැනි තත්ත්වයක් පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මෙම වායු තත්ත්වය ශ්‍රී ලංකා වායු තත්ත්ව දර්ශකය අනුව “තරමක් අහිතකර” මට්ටමක් ලෙස වර්ගීකරණය කර ඇත. ඇදුම, හෘද හා පෙනහළු රෝග ඇති පුද්ගලයන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් මෙහිදී වැඩි අවදානමකට ලක්විය හැකිය.

සංවේදී පුද්ගලයන්ට අනවශ්‍ය ලෙස එළිමහනේ රැඳී නොසිටින ලෙසත්, අවශ්‍ය අවස්ථාවල N95 වර්ගයේ මුහුණු ආවරණ භාවිත කරන ලෙසත් බලධාරීහු උපදෙස් දෙති. ශ්වසන අපහසුතා, කැස්ස හෝ පපුවේ අපහසුතාවක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

වායු තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත්, තත්ත්වයේ වෙනසක් සිදුවුවහොත් මහජනතාව දැනුවත් කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!