කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ සමාජය තුළ පවතින නිහඬතාව බිඳ දැමීමටත්, එවැනි සිදුවීම් පිළිබඳ සංවේදී හා වගකීම්සහගත සංවාදයක් ගොඩනැඟීමටත් මාධ්‍යයට පැවරෙන කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව (SAWM-SL) විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින 16ක ව්‍යාපාරයට සමගාමීව නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම කාලය තුළ ප්රචණ්ඩත්වය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ පණිවිඩ මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ඉදිරිපත් කිරීම සංවිධානයේ සැලසුමයි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ප්රචණ්ඩත්වයේ ස්වභාවය පිළිබඳ තොරතුරු ජනතාව වෙත ගෙන යන මාධ්‍යයේ වගකීම ද මෙහිදී විශේෂ අවධානයට ලක්විය. සිදුවීමක් වාර්තා කිරීම පමණක් නොව, වින්දිතයන්ගේ අනන්‍යතාව හා ගෞරවය ආරක්ෂා කිරීම, ඔවුන්ට දොස් පැවරෙන ආකාරයේ භාෂාවෙන් වැළකීම, සිදුවීමේ වගකීම අපරාධකරු වෙත නිවැරදිව යොමු කිරීම සහ ප්රචණ්ඩත්වය පිළිබඳ සමාජයේ වැරදි මත අභියෝගයට ලක් කිරීම ද වගකීම්සහගත වාර්තාකරණයේ කොටසක් බව එහිදි සඳහන් කෙරිණ.
මෙම කරුණු පදනම් කරගනිමින් දින 16ක ව්‍යාපාරයට අවශ්‍ය පණිවිඩ හා අදහස් සකස් කිරීම සඳහා විශේෂ සම-නිර්මාණ උපදේශන වැඩමුළුවක් නොවැම්බර් 18 වැනිදා කොළඹදී පැවැත්විණි. මාධ්‍යවේදීන්, නිර්මාණකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්, විවිධ සංවිධාන නියෝජිතයන් සහ LGBTQI ප්‍රජාව නියෝජනය කරන පිරිස් ඇතුළු විවිධ ක්ෂේත්රවල පිරිසක් ඊට සහභාගී වූහ.
වැඩමුළුවේදී විෂය ප්රාමාණිකයන් සහ සම්පත් දායකයන් විසින් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ ස්වභාවය, එහි විවිධ බලපෑම් සහ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී මතුවන ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණ. ඉන් අනතුරුව සහභාගිවූවන්ගේ අදහස් හා යෝජනා මත පදනම්ව සමාජ මාධ්‍ය පණිවිඩ මාලාව සකස් කර ඇත.
මෙම ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ දැනුවත් කිරීමේ පණිවිඩ නිර්මාණය කිරීම මාධ්‍යවේදීන්ට පමණක් සීමා නොකර, සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ අත්දැකීම් සහ අදහස් ඒ සඳහා එක්කර ගැනීමයි. විශේෂයෙන් LGBTQI ප්‍රජාව ඇතුළු සමාජයේ ඇතැම් විට අවධානයෙන් ගිලිහෙන කණ්ඩායම්වල අදහස් ද මෙම සාකච්ඡාවට ඇතුළත් කර තිබීම වැදගත්ය.
මෙවර 2026 ජාත්‍යන්තර දින 16ක ව්‍යාපාරයේ ගෝලීය තේමාව වන්නේ “කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීමට එක්වෙමු: යුක්තිය තහවුරු කරමු, දිවි ගලවාගත් අය ආරක්ෂා කරමු, දඬුවම් නොලැබීමේ තත්ත්වය අවසන් කරමු” යන්නයි. එමඟින් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන පුද්ගලයන්ට යුක්තිය ලබාදීම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වැරදිකරුවන් වගවීමට ලක් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
SAWM ශ්‍රී ලංකා භාරකාරිනියක වන ෂාමිනි බොයිල් මහත්මිය පැවසුවේ සමාජයේ විවිධ පාර්ශ්වයන් එකට එක්කර ගනිමින් මෙම ගැටලුව පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
දකුණු ආසියානු කලාපීය ජාලයක් ලෙස 2009 සැප්තැම්බර් 28 වැනිදා කොළඹදී ආරම්භ වූ SAWM ශ්‍රී ලංකා ශාඛාව මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ කාන්තාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, නියෝජනය සහ නායකත්ව අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන ස්වාධීන, ලාභ නොලබන සංවිධානයකි. මාධ්‍යවේදිනියන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී වාර්තාකරණය ප්‍රවර්ධනය කිරීම සහ මාධ්‍ය තුළ සමාන අවස්ථා තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණු අතර වේ.



