31.3 C
Galle

ජාත්‍යන්තර මූල්‍ය වංචා ජාල ගැන විමර්ශනයට FBI නිලධාරීන් ශ්‍රී ලංකාවට

Published:

ඇමෙරිකානු පුරවැසියන් ඇතුළු ලොව පුරා පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අන්තර්ජාල මූල්‍ය වංචා ජාල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිදුකරන විමර්ශන සඳහා සහාය ලබාදීමට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ (DOJ) නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, නොවැම්බර් 16 සිට 22 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් සයිබර් තාක්ෂණය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල මැඩපැවැත්වීම බවයි.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම මත පැමිණි FBI කණ්ඩායමට එම ආයතනයේ Charlotte Field Office හි නිලධාරීන් ඇතුළත් වූ බව තානාපති කාර්යාලයේ නිල නිවේදනයක දැක්වේ. මෙම කණ්ඩායම ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන සම්බන්ධ විමර්ශන සඳහා විශේෂිත තාක්ෂණික සහාය ලබාදෙමින් සිටී.

සංචාරය අතරතුර ඇමෙරිකානු නිලධාරීන් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ විමර්ශන ඒකක කිහිපයක් සමඟ ද සම්බන්ධ වී තිබේ. ඒ අතර පරිගණක අපරාධ විමර්ශන ඒකකය (CCIU), මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සහ තාක්ෂණික සහාය ඒකකය (TAU) ඇතුළත් වේ.

මෙම සහයෝගීතා වැඩසටහන යටතේ දැනට විමර්ශනය කෙරෙන වංචා මධ්‍යස්ථාන දෙකකට අදාළ විමර්ශන සමාලෝචනය කර ඇති බව වාර්තා වේ. එම විමර්ශනවලට අදාළව ඉලෙක්ට්‍රොනික උපකරණ 80කට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල් සාක්ෂි සඳහා පරීක්ෂා කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ වැටලීම්වලදී සොයාගත් උපකරණවලින් සාක්ෂි ලබාගැනීම, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය පිළිබඳ පුහුණුව ලබාදීම සහ විමර්ශන ක්‍රමවේද සමාලෝචනය කිරීම ද මෙම වැඩසටහනට ඇතුළත් වී තිබේ. එමගින් වංචාකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම, වින්දිතයන් සොයාගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා වඩාත් ශක්තිමත් නඩු ගොනු සකස් කිරීම අරමුණු කර ඇත.

විදේශයන්හි ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අපරාධ ජාල මගින් ලොව පුරා පුද්ගලයන්ගෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක මුදල් වංචා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි. අන්තර්ජාලය සහ වෙනත් ඩිජිටල් තාක්ෂණයන් භාවිත කරමින් ඇමෙරිකානු පුරවැසියන් ඇතුළු පුද්ගලයන් වංචාවලට ගොදුරු කරගන්නා බව ද එම කාර්යාලය සඳහන් කරයි.

“විදේශයන්හි ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් වංචා කරමින් සිටින අතර, ඒවා නතර කිරීමට අප කැපවී සිටිනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් මහතා සඳහන් කර තිබේ.

ඉදිරියේදී ද FBI සහ ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම, විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු මත ඉදිරි පියවර ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදුකිරීමට නියමිතය.

මෙම සහයෝගීතාවයේ පුළුල් අරමුණ ඇමෙරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව වංචාවලින් ආරක්ෂා කිරීමත්, සයිබර් තාක්ෂණය ඔස්සේ සිදුකරන අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමත් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!