30.7 C
Galle

ගොඩවාය පුරාවිද්‍යා පර්යේෂණයේ ප්‍රගතිය සොයා ඇමෙරිකානු දූත පිරිසක් ගාල්ලට

Published:

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පුරාවිද්‍යා උරුමය පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් හමුවී ඇති ගොඩවාය පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් පසුගියදා (18) ගාල්ලේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියට අදාළ පර්යේෂණ, පුරාවස්තු සංරක්ෂණ සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු අධ්‍යක්ෂ Eric Cetalfamo මහතා ඇතුළු දූත පිරිස ගාල්ලේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නැරඹූ අතර, ගොඩවාය නෞකා සුන්බුන් පර්යේෂණයෙන් සොයාගෙන එහි තැන්පත් කර ඇති පුරාවස්තු විශේෂ නිරීක්ෂණයකට ලක් කළහ. එහිදී සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ සහ පුරාවස්තු සංරක්ෂණ රසායනාගාරයේ කටයුතු ද පරීක්ෂා කළ දූත පිරිස ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ කටයුතු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළහ.

ගොඩවාය නෞකා සුන්බුන් පර්යේෂණය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ඉන්දියානු සාගර කලාපයේම සමුද්‍රීය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී වැදගත් ස්ථානයක් ගනී. දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේ මීටර් 33ක පමණ ගැඹුරේ පිහිටි මෙම නෞකා සුන්බුන් වසර 2,000කට වැඩි ඉතිහාසයක් සහිත බව පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබේ. එය ආසියා පැසිෆික් කලාපයෙන් හමුවූ පැරණිතම දැව නෞකා සුන්බුන් ලෙස සැලකේ.

2003 වසරේදී ගොඩවාය මුහුදු ප්‍රදේශයෙන් මුල්වරට හඳුනාගත් මෙම ස්ථානයෙන් තඹ හා යකඩ කැබලි, වීදුරු කුට්ටි, මැටි භාණ්ඩ, ඇඹරුම් ගල් සහ මැණික් පබළු ඇතුළු පුරාවස්තු රැසක් සොයාගෙන තිබේ. එම සොයාගැනීම් පුරාණ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පැවති වෙළෙඳ හා නාවික සබඳතා පිළිබඳ වැදගත් සාක්ෂි සපයයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව 2022 වසරේ සිට මෙම ව්‍යාපෘතියට පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු සඳහා මූල්‍ය සහය ලැබී ඇත. ඉන් අනතුරුව පුරාවිද්‍යාත්මක කැණීම්, ඡායාරූප හා වීඩියෝ ලේඛනගත කිරීම, පුරාවස්තු හඳුනාගැනීම සහ සංරක්ෂණ කටයුතු වඩාත් පුළුල්ව සිදුකර තිබේ.

2026 වසරේ දී ද නෞකා සුන්බුන්වල මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රමානුකූල කැණීම් සිදුකර ඇති අතර, එහිදී පබළු, ලෝහමය ද්‍රව්‍ය, වීදුරු කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු පුරාවස්තු සොයාගෙන තිබේ. එම සොයාගැනීම් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ඇතුළු ආයතන සමඟ ද සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

පුරාවස්තු ගොඩගැනීමෙන් පමණක් නොව ඒවායේ ඓතිහාසික වටිනාකම හඳුනාගෙන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමෙන් ද ගොඩවාය ව්‍යාපෘතිය වැදගත් වේ. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ දේශීය පර්යේෂණ හැකියාවන් වර්ධනය කිරීම මෙම සංචාරයේදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කරුණු අතර විය.

මෙම අවස්ථාව සඳහා ගාල්ල ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකාර රම්‍යා එදිරිමුනි මහත්මිය, සහකාර අධ්‍යක්ෂ සමන් ද සිල්වා මහතා, මුහුදු පුරා විද්‍යා ඒකකයේ ස්ථාන භාර නිළධාරී රසික මුතුකුමාරණ මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!