ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්කර ගැනීම සඳහා වන නිලවරණය අද (25) පස්වරුවේ කොළඹ පිහිටි ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර නිලවරණයේ සභාපති ධුරය සඳහා අපේක්ෂකයින් පස් දෙනෙකු තරග බිමට පිවිස සිටීම හේතුවෙන් එය වඩාත් තියුණු මුහුණුවරක් ගෙන ඇත. ක්‍රීඩා සංගම් ආරංචි මාර්ගවලට අනුව, පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනය නියෝජනය කරන ශිරන්ත පීරිස් යන මහත්වරුන් සභාපති ධුරය සඳහා වන තරගයේ පෙරමුණේ පසුවෙති.
මෙම නිලවරණයේදී සුදුසුකම් ලත් ක්‍රීඩා සංගම් 28ක ඡන්ද සහ ක්‍රීඩක කමිටුවට හිමි ඡන්ද 2ක ද ඇතුළුව සමස්ත ඡන්ද 30ක් භාවිත කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු (හා නික්ම යන) සභාපතිවරයා වන්නේ සුරේෂ් සුබ්‍රමනියම් මහතාය.
ඔහු 2018 වසරේ සිට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය හෙබවූ අතර, ක්‍රීඩා පනතේ සංශෝධන හේතුවෙන් අද (25) පැවැත්වෙන නිලවරණයට ඔහු ඉදිරිපත් වී නොමැත.


