29.6 C
Galle

ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published:

ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙන අතර, ලොවපුරා වැඩ කරන ජනතාව මෙම දිනය සමරන්නේ 140 වැනි වරටයි. 1886 මැයි 01 වනදා අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය 08ක සේවා මුරයක් ඉල්ලා ආරම්භ කළ අරගලය පසුකාලීනව ලෝක කම්කරු අයිතිවාසිකම් ඉතිහාසයේ මූලික හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. එම අරගලය 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

දිවයින පුරා රැලි

මෙවර කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ රැසක් දිවයින පුරා රැලි, පෙළපාලි සහ විවිධ උත්සව සංවිධානය කර තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි රැලි 21ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, “ජන රජයට ජන බලයක්” යන තේමාව යටතේ එම රැලි සංවිධානය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය සහ මහරගම පැවැත්වෙන රැලි සඳහා එක්වීමට නියමිතය.

එමෙන්ම සමගි ජන බලවේගය “පච මදිවට හොරු” යන තේමාව යටතේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදී සිය රැලිය සංවිධානය කර තිබේ. සර්වජන බලය “දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන්” යන තේමාව යටතේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මරදාන හයිඩ් පිටියේදී සිය රැලිය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය බොරැල්ලේ පක්ෂ මූලස්ථානයේදී මැයි දින වැඩසටහන පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දින රැලියක් නොපවත්වන අතර, එය ආගමික වතාවත් සඳහා වෙන් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමෙන් අනතුරුව දිවයින පුරා ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම මැයි දින රැලි හේතුවෙන් අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, මහරගම, බොරැල්ල, මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශවල රථවාහන ගමනාගමනයේ වෙනස්කම් සිදු කර ඇත. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ග සැලැස්ම පිළිපදිමින් අනවශ්‍ය තදබදය වැළැක්වීමට සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙවර කම්කරු දිනය, ඉතිහාසයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකළ අරගලය සිහිපත් කිරීමත් සමඟම, වර්තමාන ආර්ථික හා සමාජ අභියෝග මධ්‍යයේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ නැවතත් අවධානය යොමු කරන අවස්ථාවක් ලෙස සැලකේ.

Related articles

error: Content is protected !!