27.6 C
Galle

රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය 150වන සංවත්සරය පසුගියදා (01) උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මේ නිමිත්තෙන් විවිධ ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර විශේෂ සමරු මුද්දරය සහ සමරු කවරය නිකුත් කිරීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රිච්මන්ඩ් විදුහලේ වත්මන් විදුහල්පති ප්‍රභාත් විතානගේ, ශ්‍රීමල් විජේසේකර (අතිරේක සොලිසිටර් ජනරාල්), හිටපු විදුහල්පතිවරුන් සහ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්ය සංගමයේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය අදහස් දක්වමින්, “ඕනෑම ආයතනයකට වසර 150ක් කියන්නේ අතිවිශේෂ සන්ධිස්ථානයක්. විශේෂයෙන්ම දිගුකාලයක් ඉතා විශිෂ්ට මෙහෙයක් කළ අධ්‍යාපන ආයතනයකට. රිච්මන්ඩ් විද්‍යාලය වැනි ආයතන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට මූලික පදනමක් සපයනවා. සමරු මුද්දරය සහ කවරය නිකුත් කිරීම හරහා එම ඉතිහාසය සහ අගය නව පරපුර වෙත ගෙනයාමට හැකි වෙනවා.

මට විශ්වාසයි රිච්මන්ඩ් විද්‍යාලය දිගුකලක් මුළුල්ලේ රටට අවශ්‍ය විවිධ තලයේ පුරවැසියන් බිහි කළ ආකාරයටම ඉදිරියේදීත් ඒ මෙහෙය ඉටුකරයි කියලා. අද මේ සමරු මුද්දරය සැලසුම් කළ ආකාරයෙන් මට කියන්න පුළුවන් තරුණ රිච්මන්ඩ් පුතුන්ට පාසල තුළ හොඳ නවෝත්පාදන හා නිර්මාණාත්මක පසුබිමක් පවතිනවා කියලා” යැයිද පැවසුවාය.

විදුහල්පති ප්‍රභාත් විතානගේ අදහස් දක්වමින්, “මැයි පළවෙනිදා අපේ පාසලට වසර එකසිය පනහක් සපිරුනා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි සමරු මුද්දරයක්, ඒ වගේම සමරු කවරයක් නිකුත් කිරීමේ මේ අභිමානවත් අවස්ථාව සංවිධානය කළා. වසර 150ක ඉතිහාසය සමරන මෙම අවස්ථාව පාසලේ ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන් සහ වර්තමාන සිසුන් සඳහා ස්වර්ණමය දිනයක්. මෙම උත්සවය සඳහා අගමැකිනිය සහභාගී වීම පාසලට විශාල ගෞරවයක්” බවද පැවසීය.

රිච්මන්ඩ් විද්‍යාලය 1876 මැයි මස පළමුවන දින වෙස්ලියන් මෙතෝදිස්ත මිෂනාරිවරුන් විසින් ආරම්භ කරන ලදී. ප්‍රථම විදුහල්පතිවරයා ලෙස Rev. Samuel Langdon කටයුතු කළේය.

දිගු ඉතිහාසයක් තුළ මෙම විද්‍යාලය අධ්‍යාපනික, කළා, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විශාල දියුණුවක් ලබා ඇත. විශේෂයෙන්ම ‘Lovers’ Quarrel’ ලෙස ප්‍රසිද්ධ රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාල අතර වාර්ෂික ක්‍රිකට් තරගය මෙරට පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත.

සිය 150 වන වසර සමරන, ගාල්ලට අභිමානයක් වූ රිච්මන්ඩ් විදුහලට අපි සුබ පතමු, තවත් චිරාත් කාලයක් දැනුමෙන් කුසලතාවලින් දරු පරපුර පෝෂණය කරන්නට හැකිවේවායි පතමු.

Related articles

error: Content is protected !!