ශ්‍රී ලංකාවේ ආදිවාසී උරුමය හා වනය සමඟ බැඳුණු ජීවන රටාව රැක ගැනීම සඳහා දිගුකාලයක් හඬ නැගූ රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවිය.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, කලක සිට ඇතිව තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි.
සුදා වන්නිල ඇත්තෝ ශ්‍රී ලංකාවේ රතුගල ආදිවාසී ප්‍රජාවේ ප්‍රධාන නායකයෙකු ලෙස කටයුතු කළ අතර, ආදිවාසී ජනතාවගේ භූමි අයිතිවාසිකම්, සංස්කෘතික උරුමය සහ සම්ප්‍රදායික ජීවන රටාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිගුකාලයක් පුරා හඬ නැගූ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
රතුගල ප්‍රදේශයේ ආදිවාසී ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වූ ඔහු, මී පැණි එකතු කිරීම, ඖෂධීය ශාක හඳුනාගැනීම සහ වනය ආශ්‍රිත ජීවන රටාව පිළිබඳ සම්ප්‍රදායික දැනුම රැක ගැනීමට කැපවී කටයුතු කළේය. පසුගිය කාලයේදී ඔහු පෙන්වා දී තිබුණේ, වනාන්තර සංරක්ෂණ නීති, දේශගුණික විපර්යාස සහ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය හේතුවෙන් ආදිවාසී ජීවන රටාව දැඩි ලෙස වෙනස් වී ඇති බවයි.
ඔහු විවිධ මාධ්‍ය සාකච්ඡා සහ සම්මන්ත්‍රණ හරහා ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන ආර්ථික හා සමාජ ගැටලු පිළිබඳවද දිගින් දිගටම අවධානය යොමු කළේය. “අපි කලින් වනාන්තරය තුළ නිදහසේ ජීවත් වුණා. අද ඒ ජීවිතය නැතිවෙලා,” යනුවෙන් ඔහු පසුගිය අවස්ථාවක ප්‍රකාශ කර තිබුණි.
ඔහුගේ අභාවයත් සමඟ ශ්‍රී ලංකාවේ පැරණිතම ආදිවාසී උරුමයක් රැකගෙන සිටි කුඩා ප්‍රජාවක ප්‍රබල හඬක් නිහඬ වූ බව සංස්කෘතික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රතුගල වැදි ප්‍රජාව
රතුගල වැදි ප්‍රජාව, මෙරට පැරණිතම ආදිවාසී කණ්ඩායම් අතරින් එකක් ලෙස සැලකේ. ඔවුන් වසර දස දහස් ගණනක් ඈත අතීතයේ සිට පැවත එන ප්‍රාග් ඓතිහාසික මානවයාගෙන් උරුමය ලබාගත් පිරිසක් බවට විශ්වාස කෙරේ. ජනප්‍රවාදවලට අනුව මෙම ප්‍රජාව කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නන් ලෙසද සැලකෙයි. සිංහල හා දෙමළ ජනාවාස බිහිවීමටත් පෙර සිට දිවයිනේ ජීවත් වූ මුල්ම ජන කණ්ඩායම් අතරට ඔවුන් අයත් බව ඉතිහාසඥයන් පෙන්වා දෙති.
රතුගල ගම්මානයේ ආරම්භය ද සුවිශේෂීය. එක්දහස් නවසිය පනහේ දශකයේදී ගල්ඔය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සේනානායක සමුද්‍රය ඉදිකිරීමත් සමඟ දානිගල ප්‍රදේශයේ ජීවත් වූ ආදිවාසී පවුල් කිහිපයක් තම සම්ප්‍රදායික ජීවන රටාව අත් නොහැර රතුගල ප්‍රදේශයේ ගල්ගුහාවලට සංක්‍රමණය වී තිබුණි. රජයෙන් ලබාදීමට යෝජනා කළ වන්දි සහ ඉඩම් ප්‍රතික්ෂේප කරමින්, වනයත් සමඟ බැඳුණු ජීවිතය තෝරාගත් ඔවුන් එතැන් සිට තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළහ.
අදටත් රතුගල ප්‍රජාව වනය සමඟ බැඳුණු ජීවිතයක් ගත කරති. දඩයම, මී පැණි එකතු කිරීම, වනයේ පලතුරු හා අල වර්ග රැස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයන් අතර වේ. දුනු ඊතල, හෙල්ල සහ පොරොව වැනි සාම්ප්‍රදායික මෙවලම් භාවිතයෙන් වනයේ ජීවත්වන ඔවුන්, සොබාදහමට හානි නොවන ලෙස ජීවිතය ගත කිරීම විශේෂත්වයකි.
ඔවුන්ගේ සංස්කෘතිය තුළ මළවුන්ගේ ආත්ම හෙවත් “නෑ යකුන්” ඇදහීම විශේෂ ස්ථානයක් ගනී. කිරි කොරහ වැනි ශාන්තිකර්ම, ජන ගී, දඩයම් නැටුම් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අදටත් මෙම ප්‍රජාව තුළ පවතින අතර, ඔවුන්ටම ආවේණික වූ භාෂාමය ලක්ෂණද තවමත් භාවිතයේ පවතී.
මෙවැනි සංස්කෘතියක් අනාගත පරපුරට රැගෙන යාමේදී සුදා වන්නිල ඇත්තෝ විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි. ඔහු රතුගල ආදිවාසී උරුම මධ්‍යස්ථානය හරහා තරුණ පරපුරට ආදිවාසී උරුමය හඳුන්වා දීමටත්, බාහිර ලෝකයට තම ජන ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාදීමටත් උත්සාහ කළේය.
කෙසේ වෙතත් නවීකරණය, වනාන්තරවලට ප්‍රවේශ වීමට ඇති සීමාවන්, භූමි අත්පත් කර ගැනීම් සහ ආර්ථික පීඩනය හේතුවෙන් රතුගල ආදිවාසී ප්‍රජාව අද දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටී. තම අනන්‍යතාවය රැක ගැනීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක නිරත වන අතර, සංචාරක ව්‍යාපාරය ඔස්සේ යම් ආදායමක් උපයා ගනිමින් පාරම්පරික ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ දරති.


