මාරාන්තික හන්ටාවෛරස් (Hantavirus) ව්‍යාප්තියක් තහවුරු වූ නෞකාවේ සිටි බරපතළ රෝගීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත රැගෙන ගොස් ඇති බව නෞකා මෙහෙයුම් සමාගම වන Oceanwide Expeditions නිවේදනය කර තිබේ.
MV Hondius නමැති මෙම සංචාරක නෞකාවේ සිටි තවත් රෝගියෙකුද ගුවන් මගින් ඉවත් කිරීමට නියමිතව තිබුණද, එම ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. රෝගීන් අතර බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත සහ ජර්මානු ජාතිකයන් සිටින බව සඳහන්ය.
දකුණු අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් සිටි මෙම නෞකාව, පසුගිය මාසයේ ආර්ජන්ටිනාවේ සිට ගමන් ආරම්භ කර තිබූ අතර, මේ වන විට බටහිර අප්‍රිකාවට අයත් කේප් වර්ඩෙ ආසන්නයේ දින තුනක් නැංගුරම්ලා සිටීමෙන් පසු කැනරි දූපත් දෙසට ගමන් කරමින් සිටී.
මෙම නෞකාවේ සිටි පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුට හන්ටාවෛරස් ආසාදනය වී තිබූ බව තහවුරු කර ඇත. අනෙක් මරණ දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වන විට නෞකාවේ සිටි පුද්ගලයන් අතර හන්ටාවෛරස් ආසාදිතයන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඉන් තිදෙනෙකුට රෝගය තහවුරු වී ඇති අතර, පස් දෙනෙකු සැක සහිත රෝගීන් ලෙස පරීක්ෂාවට ලක්ව සිටී.
දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මෙම ආසාදිතයන් දෙදෙනෙකු තුළ “Andes strain” ලෙස හඳුන්වන හන්ටාවෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි. මෙම ප්‍රභේදය මීට පෙර ලතින් ඇමරිකාවේදී මිනිසුන් අතර සම්ප්‍රේෂණය වූ අවස්ථා වාර්තා වී තිබීම නිසා විශේෂ අවධානයක් යොමුව ඇත.
සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම වෛරසය COVID-19 හෝ උණ වැනි රෝගවල මෙන් සාමාන්‍ය ආකාරයෙන් පහසුවෙන් ව්‍යාප්ත නොවන බවයි. සමීප ශාරීරික සම්බන්ධතා හරහා පමණක් සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි බව ඔවුහු සඳහන් කරති.
සාමාන්‍යයෙන් හන්ටාවෛරස් ව්‍යාප්ත වන්නේ මීයන් වැනි කෘන්තක සතුන් මගින් වුවද, මෙම සිද්ධියේදී සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් අතරින් මිනිසුන්ට මිනිසුන් අතර රෝගය සම්ප්‍රේෂණය වී ඇති බවට සෞඛ්‍ය විශේෂඥයන් සැක පළ කරති.
මේ අතර, නෞකාවෙන් මීට පෙර ඉවත් වී ඇමරිකාවට ගොස් සිටි පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධයෙන් ජෝජියා සහ ඇරිසෝනා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. ඔවුන්ට මේ වන විට රෝග ලක්ෂණ නොමැති බව වාර්තා වේ.
එමෙන්ම නෞකාවෙන් බැස ස්විට්සර්ලන්තය වෙත ගොස් සිටි පුද්ගලයෙකුටද හන්ටාවෛරස් ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.
නෞකාවේ මේ වන විට රටවල් 23ක පුද්ගලයන් 146 දෙනෙකු රැඳී සිටින අතර, ඔවුන් “දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග” යටතේ නිරෝධායනය කර ඇති බව නෞකා සමාගම සඳහන් කළේය.
මේ අතර ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත්හි වත්මන් පාලකයා වන ක්ලැවිජෝ ප්‍රනාන්දු පවසා ඇත්තේ, නෞකාව කැනරි දූපත් වෙත පැමිණීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවයි. කෙසේ වෙතත් ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත්තේ, නෞකාව පැමිණීමෙන් පසු සියලුම මගීන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර, අවශ්‍ය පුද්ගලයන් නිරෝධායනයට යොමු කරන බවයි.


