27.5 C
Galle

වැසි සමයත් සමඟ මොළේ උණ අවදානම ඉහළට

Published:

දෙනියාය ප්‍රදේශයේ පාසල් කිහිපයකින් මුලින්ම වාර්තා වූ වෛරස් මෙනින්ජයිටිස් හෙවත් “මොළේ උණ” රෝග තත්ත්වය මේ වන විට දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකටද ව්‍යාප්ත වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28 දෙනෙකු, වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙකු සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25 දෙනෙකු පමණ මේ වන විට වාර්තා වී ඇති බවයි.

මෙම රෝගය ප්‍රධාන වශයෙන් පාසල් දරුවන් අතර පැතිර යමින් පවතින බවද ඔහු පැවසුවා. අධික උණ, දැඩි හිසරදය සහ වමනය වැනි රෝග ලක්ෂණ මෙහිදී බහුලව දක්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

“මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්. වසංගත රෝග විද්‍යා අංශය සහ පළාත් සෞඛ්‍ය අංශ එක්ව අවශ්‍ය පරීක්ෂණ සහ පාලන ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

එමෙන්ම රෝගීන් බොහෝ දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, නිසි ප්‍රතිකාර යටතේ දින 5ත් 7ත් අතර කාලයකදී සුවය ලබන බවද ඔහු අවධාරණය කළා. මේ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කෙරිණි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සහ ඉදිරියේදී පැවැත්වෙන වෙසක් උත්සව සමයේ දන්සල් සහ ජන ඒකරාශීවීම් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවද වෛද්‍ය කරුණාපේම මහතා සඳහන් කළා.

විශේෂයෙන්ම අපිරිසිදු ජලය සහ ආහාර මාර්ගයෙන් රෝගය පැතිර යා හැකි බැවින්, සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

“දැනට වාර්තා වී ඇති කිසිදු රෝගියෙකු බරපතළ තත්ත්වයේ නැහැ. සියලුම රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දෙනවා,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, පාසල් තුළ රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ සහ පාසල් පරිපාලන අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බවද අනාවරණය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!