ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පුරවැසියන්ට කැනඩාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කිරීමට කැනඩා රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුල්වීම තහනම් වන අතර, එම නියෝගය බදාදා සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කැනඩා මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ, ඉබෝලා වෛරසය කැනඩාව තුළට ඇතුල්වීම සහ පැතිර යාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගියදා ප්‍රකාශ කළේ, “Bundibugyo” නම් ඉබෝලා ප්‍රභේදය කොංගෝව තුළ ජාතික වසංගතයක් බවට පත්වීමේ අවදානම “ඉතා ඉහළ” මට්ටමක පවතින බවයි. එමෙන්ම කොංගෝව සහ උගන්ඩාව තුළ පවතින තත්ත්වය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර, පසුගිය සතියේ අමෙරිකාවද කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය වෙත මෑතකදී ගමන් කළ විදේශිකයින්ට තම රටට ඇතුල්වීම තහනම් කළා.
කැනඩා බලධාරීන් පවසන්නේ, මෙම රටවල සිට පැමිණෙන කැනඩා පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් සහ අනෙකුත් විදේශිකයින්ට රෝග ලක්ෂණ නොතිබුණද දින 21ක නිරෝධායනයකට යටත් වීමට සිදුවන බවයි.
එමෙන්ම බහමාස් රාජ්‍යයද මෙම රටවල් තුනෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා දැඩි සෞඛ්‍ය පරීක්ෂණ සහ අවශ්‍ය නම් නිරෝධායන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට අමෙරිකාව, කැනඩාව හෝ බහමාස් රාජ්‍යයෙන් කිසිදු ඉබෝලා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



