කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් එළඹෙන මැයි 13 වන බදාදා දින සිට නැවත විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා නිවේදනය කළේය.
කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පවසන පරිදි, මෙම උණ රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ වෛරසය ජල මූලාශ්‍රවලට එක් වීමෙන් ජලය අපිරිසිදු වීම හෝ ආහාර මගින් ශරීරගත වීමයි. දෙනියාය කලාපයේ පාසල් හතරකින් සහ පෙර පාසල්වලින් උණ රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වීමත් සමඟ බලධාරීන්ගේ විශේෂ අවධානය මේ වෙත යොමු විය.
පවතින තත්ත්වය පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී,
පාසල් පරිශ්‍ර, පන්ති කාමර, වැසිකිළි පද්ධති සහ ජල ටැංකි විධිමත් ලෙස විෂබීජහරණය කිරීම, සහ ගම්වාසීන් දැනුවත් කිරීම.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ කටයුතු දැඩි කිරීම යන තීරණ ගනු ලැබීය.
කලින් සැලසුම් කර තිබූ මැයි 12 වැනිදා වෙනුවට 13 වැනිදා පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත පියවර විධිමත්ව සම්පූර්ණ කිරීම සඳහාය. අද සහ හෙට (මැයි 11 සහ 12) දෙදින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මේ සඳහා දායක වීමට කැමති ස්වේච්ඡා කණ්ඩායම් වෙතොත් දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින අතර, කලාපයේ පෙර පාසල් මෙම සතිය පුරා තවදුරටත් වසා තැබෙනු ඇත.
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතී නම් දරුවන් පාසල් එවීමට කටයුතු නොකරන ලෙසත්, කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් උපදෙස් දෙයි.


