29.5 C
Galle

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක්

Published:

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන බහුදින ධීවර යාත්‍රා ඇතුළු නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

අද (23) පස්වරු 4.30ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

උතුරු අන්දමන් දූපත් ආසන්නයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, එනම් ඔක්තෝබර් 24 වැනිදා වන විට, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් ඔක්තෝබර් 25 වැනිදා වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ මධ්‍යම-බටහිර ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවට ද පුරෝකථනය කර තිබේ.

ඒ අනුව උතුරු අක්ෂාංශ අංශක 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ අංශක 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස අදාළ ප්‍රජාවට දැඩි ලෙස උපදෙස් දී ඇත. නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වැළකී සිටින ලෙස ද දැනුම් දී තිබේ.

දැනටමත් එම මුහුදු ප්‍රදේශවල සිටින යාත්‍රා හැකි ඉක්මනින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යොමු වන ලෙස ද බලධාරීහු ඉල්ලා සිටිති.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිල අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!