27.9 C
Galle

විද්‍යා ඝාතනයේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Published:

යාපනයේ පුන්කුඩුතීවු ප්‍රදේශයේදී පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි ‘සුවිස් කුමාර’ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුගේ දඬුවම තහවුරු කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (06)තීන්දු කළේය.එසේම ඉතිරි විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් ගොනු කරන ලද විශේෂ අභියාචන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙලෙස අධිකරණය විසින් මරණ දඬුවම තහවුරු කරනු ලැබුවේ, මහලිංගම් ශෂී කුමාර හෙවත් සුවිස් කුමාර, පුබාලසිංහම් ජයකුමාර හෙවත් රවී, තිලනාද චන්ද්‍රා කාන්තන් හෙවත් චන්ද්‍රා, සියනේතන් තුසිතන් හෙවත් පෙරිය තම්බි යන විත්තිකරුවන්ටය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මහලිංගම් සසිදරන් හෙවත් සෂී සහ ජයතරන් කෝකිලර් හෙවත් කන්නන් යන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. මීට අමතරව, අභියාචන පෙත්සම විභාග වෙමින් පවතින අතරතුර පූබාලසීංගම් හෙවත් සෙන්සිල් නමැති විත්තිකරු මියගොස් ඇති බවද අධිකරණයේදී සඳහන් විය.

මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අභයකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි. සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මුළු රටම මහත් කම්පනයට පත් කළ මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර යාපනය මහාධිකරණයේදී පිහිටුවන ලද ‘ට්‍රයල් ඇට් බාර්’ විනිසුරු මඩුල්ලක් මගින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නවතම තීන්දුවත් සමඟ ඉන් බහුතරයකට පැනවූ මරණ දඬුවම ස්ථිර විය.

Related articles

error: Content is protected !!