29.6 C
Galle

පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම

Published:

මීට වසර 18කට පෙර ගාල්ල බද්දේගම ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) මරණ දඬුවම නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙසේ මරණ දඬුවම නියම වූයේ බද්දේගම හාමිංගල පදිංචි මෙරෙන්චි කංකානම්ගේ පසාද් මනෝරංජන නොහොත් ‘කලුතර චූටී’ නමැති අයෙකුටය.

2008 වසරේ නොවැම්බර් මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයකදී බද්දේගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් ජගත් නන්දන (50472) යන නිලධාරීන් දෙදෙනා වැටලීමක් සඳහා ගොස් තිබූ අතර එහිදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බලපිටිය රන්දොඹේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ මහතා ජීවිතක්ෂයට පත් විය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙකු සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බලපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

ඊයේ ප්‍රකාශයට පත් වූ තීන්දුව අනුව සිව්වන විත්තිකරු වූ ‘කලුතර චූටී’ නමැත්තාට මරණ දඬුවම නියම වූ අතර, සෙසු විත්තිකාරියන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. නිදොස් කොට නිදහස් කෙරුණු දෙවන විත්තිකාරිය වූ ගුනෙත්තිගොඩ ලීලාවතී නමැත්තිය මේ වන විට මියගොස් ඇති බව වාර්තා වේ.

මරණ දඬුවම නියම වූ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!