28.3 C
Galle

පාසලක පිහි ඇණුමකින් සිසුන් පස් දෙනකුට තුවාල

Published:

එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක් තුළදී අද (13) උදෑසන සිදුවූ පිහි ඇණුමකින් 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුවා අදාළ ආයුධය ද සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකි. මීට දින කිහිපයකට ඉහතදී සැකකාර සිසුවා සහ තුවාල ලැබූ එක් සිසුවෙකු අතර ඇතිවූ ආරවුලක් මීට හේතු වී තිබේ. ඊට පළිගැනීමක් වශයෙන් සැකකාර සිසුවා අද උදෑසන තියුණු ආයුධයක් රැගෙන විත් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙකි. එක් සිසුවෙකුට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී එය වැළැක්වීමට මැදිහත් වූ තවත් සිසුන් සිව්දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සිසුන් පස්දෙනාම එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් වේලාව තුළදී සිදුවූ මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සැකකාර සිසුවා සන්තකයේ තිබූ තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීමත් සමඟ පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ ආරක්ෂාව සහ විනය පිළිබඳව දෙමාපියන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Related articles

error: Content is protected !!