29.4 C
Galle

බර වැඩිවීම පාලනයට පෙත්තක්

Published:

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන එන්නත් නතර කිරීමෙන් පසු සිරුරේ බර නැවත සීඝ්‍රයෙන් වැඩිවීම බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙම අවදානම මඟහරවා ගැනීම සඳහා ‘Orforglipron’ නමැති නව ඖෂධීය පෙත්ත සාර්ථක විසඳුමක් බව ‘Nature Medicine’ සඟරාවේ පළවූ නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

Eli Lilly සමාගම විසින් අරමුදල් සපයන ලද මෙම පර්යේෂණය සඳහා වසරකට වැඩි කාලයක් එන්නත් ලබාගෙන බර අඩු කරගත් පුද්ගලයන් 376 දෙනෙකු සහභාගී කරවා ගන්නා ලදී.

එන්නත් නතර කිරීමෙන් පසු දිනපතා මෙම නව පෙත්ත ලබාගත් පිරිස, ඔවුන් අඩු කරගත් බරින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් නැවත වැඩිවීම වළක්වා ගැනීමට සමත් වූහ.

කිසිදු ඖෂධයක් ලබා නොගත් පිරිස රඳවා ගත්තේ ඔවුන් අඩු කරගත් බරින් 38-50%ක් පමණි.

ක්‍රියාකාරීත්වය සහ වාසි

මෙම පෙත්ත ක්‍රියා කරන්නේ ද එන්නත් හා සමාන ආකාරයටය. එමඟින් කුසගින්න අඩු කරන ස්වාභාවික හෝමෝනයක් අනුකරණය කරමින් පුද්ගලයාට වැඩි වේලාවක් කුස පිරී ඇති බවක් දැනීමට සලස්වයි. එන්නත් ලබා ගැනීමට බිය හෝ අකමැති රෝගීන්ට දිනපතා ගිලින පෙත්තක් වඩාත් ආකර්ෂණීය විකල්පයක් වනු ඇතැයි විද්වත්හු පවසති.

මීට අමතරව, මෙම පෙත්ත ලබාගන්නා රෝගීන්ගේ රුධිර පීඩනය, ලිපිඩ මට්ටම සහ රුධිරයේ සීනි මට්ටම ද යහපත් මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත. එමඟින් තරබාරුකම නිසා ඇතිවන හෘද රෝග වැනි අවදානම් අවම කිරීමට ද උපකාරී වේ.

මිල සහ අතුරු ආබාධ

ඇමරිකා එක්සත් ජනපදයේ දැනටමත් භාවිතයේ පවතින මෙම පෙත්ත, එන්නත්වලට වඩා මිලෙන් අඩුය. එන්නත් සඳහා මසකට ඩොලර් 1,000කට වඩා වැය වන විට, මෙම පෙත්තේ අවම මාත්‍රාව සඳහා වැය වන්නේ මසකට ඩොලර් 149ක් පමණි. කෙසේ වෙතත්, මෙය බ්‍රිතාන්‍ය වෙළඳපොළට තවමත් නිකුත් කර නොමැති බැවින් එහි මිල තවමත් තීරණය වී නැත.

මෙම ඖෂධය භාවිතයේදී ඔක්කාරය, මලබද්ධය හෝ පාචනය වැනි සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි බව වාර්තා වේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ තරබාරුකම යනු දිගුකාලීන ප්‍රතිකාර අවශ්‍ය වන රෝගයක් බවයි. මෙම පෙත්ත කොපමණ කාලයක් ලබාගත යුතු ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ අවශ්‍ය වුවත්, ඇතැම් විට මෙය ජීවිත කාලය පුරාම ලබාගත යුතු ප්‍රතිකාරයක් වීමට ද ඉඩ ඇති බව ඔවුහු පවසති.

(BBC ඇසුරිණි)

Related articles

error: Content is protected !!