අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදෙන “ග්‍රීන් කාඩ්” (Green Card) අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය හඳුන්වා දී ඇති නව නීති හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයින්ගේ ජීවිත දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම නව නීතිය අනුව, මේ වන විට අමෙරිකාව තුළ තාවකාලික වීසා මත රැඳී සිටින බොහෝ දෙනෙකුට, ස්ථිර පදිංචිය සඳහා වන ග්‍රීන් කාඩ් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා තම මව් රටට ආපසු යාම අනිවාර්ය වනු ඇති.
මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව, ශිෂ්‍ය වීසා, රැකියා වීසා හෝ වෙනත් නීත්‍යානුකූල වීසා මත අමෙරිකාවේ රැඳී සිටින පුද්ගලයින්ට එරට තුළ සිටම ග්‍රීන් කාඩ් සඳහා අයදුම් කිරීමට අවසර තිබුණි.
කෙසේ වෙතත්, අමෙරිකානු පුරවැසිභාව සහ සංක්‍රමණ සේවය (USCIS) සිකුරාදා නිවේදනය කළේ “අතිවිශේෂ අවස්ථා” හැර අනෙකුත් සියලුම අය තම මව් රටේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයක් හරහා අයදුම් කළ යුතු බවයි.
“තාවකාලික වීසා ස්ථිර පදිංචියට පියවරක් නොවිය යුතුයි”
USCIS ප්‍රකාශක සැක් කාහ්ලර් සඳහන් කළේ, මෙම තීරණය මගින් අමෙරිකානු සංක්‍රමණ නීතියේ “මුල් අරමුණ” නැවත ස්ථාපිත කරන බවයි.
“ශිෂ්‍යයින්, සංචාරකයින් හෝ තාවකාලික සේවකයින් අමෙරිකාවට පැමිණෙන්නේ කෙටි කාලයක් සහ නිශ්චිත අරමුණක් සඳහායි. ඔවුන්ගේ එම පැමිණීම ග්‍රීන් කාඩ් ක්‍රියාවලියේ පළමු පියවරක් බවට පත්විය යුතු නැහැ,” ඔහු ප්‍රකාශ කළේය.
පවුල්, රැකියා සහ අධ්‍යාපනයට දැඩි බලපෑම්
මෙම නව නීතිය විශේෂයෙන්ම,
විදේශීය ශිෂ්‍යයින්, තාක්ෂණ ක්ෂේත්‍ර සේවකයින්, H-1B වීසා මත සේවය කරන වෘත්තිකයින්, සහ අමෙරිකානු පුරවැසියන්ගේ විදේශීය කලත්‍රයින් වැනි පිරිස් සඳහා දැඩි බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ග්‍රීන් කාඩ් ක්‍රියාවලිය මාස කිහිපයක සිට වසර ගණනාවක් දක්වා ගතවන දීර්ඝ ක්‍රියාවලියක් බැවින්, අයදුම්කරුවන්ට රැකියා අහිමි වීම, පවුල් වෙන්වීම සහ ජීවන සැලසුම් බිඳවැටීමේ අවදානමක් මතුව තිබේ.
තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්
ට්‍රම්ප් පාලනයේ මෙම තීරණයට අමෙරිකානු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
LinkedIn සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන් සඳහන් කළේ, මෙම තීරණය “තාක්ෂණයට, ව්‍යාපාරයට සහ සමස්ත අමෙරිකාවටම හානිකර” බවයි. “AI පර්යේෂකයින්, සේවකයින් සහ ශිෂ්‍යයින් දැන් රට හැර ගොස් වසර ගණනාවක් බලා සිටිය යුතුද?” යනුවෙන් ඔහු X සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණි.
වෙන්චර් ආයෝජක නික් ඩේවිඩොව් මෙම නීතිය “ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ඇති විශාලතම මෝඩ තීරණයක්” ලෙස විවේචනය කළේය. ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දියානු අයදුම්කරුවන්ට දශක ගණනාවක් බලා සිටීමට සිදුවිය හැකි අතර, රුසියානුවන්ට අයදුම් කිරීමට පවා ස්ථානයක් නොමැති බවයි.
“අමෙරිකාවේ තරඟකාරීත්වයට පහරක්”
කැටෝ ආයතනයේ සංක්‍රමණ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ජේ. බියර් පවසන්නේ, මෙම ප්‍රතිපත්තිය අමෙරිකාවේ ආර්ථික සහ තාක්ෂණික තරඟකාරීත්වයට දැඩි හානියක් සිදුකරනු ඇති බවයි. “මෙය දක්ෂ පුද්ගලයින් වෙනත් රටවලට තල්ලු කරාවි. අමෙරිකාව ව්‍යාපාර සඳහා අඩු ආකර්ෂණීය ස්ථානයක් බවට පත්විය හැකියි,” ඔහු සඳහන් කළේය.
නීතිමය අභියෝග මතුවෙයි
මෙම නව නීතියට එරෙහිව නීතිමය අභියෝග රැසක් ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.
නිව්යෝර්ක් ආණ්ඩුකාර කෙති හෝචුල් ප්‍රකාශ කළේ, “මෙම ප්‍රතිපත්තිය අමෙරිකාව ගොඩනැගූ මූලික වටිනාකම්වලට ද්‍රෝහී වීමක්” බවයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත ටෙඩ් ලියු සඳහන් කළේ, මෙම තීරණය “චීනය සහ රුසියාව වැනි රටවලට වාසියක්” ලබාදෙන බවයි.
ට්‍රම්ප්ගේ සංක්‍රමණ නීති දැඩි කිරීමේ නව පියවරක්
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, නීති විරෝධී සංක්‍රමණිකයින්ට පමණක් නොව නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රමවේදයන්ට ද දැඩි සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ඒ අතර, සරණාගත අයදුම් සීමා කිරීම, රටවල් කිහිපයකට Temporary Protected Status අවලංගු කිරීම, ශිෂ්‍ය සහ රැකියා වීසා සීමා කිරීම සහ H-1B වීසා ප්‍රමුඛතාවය වෙනස් කිරීම වැනි ක්‍රියාමාර්ග ද ඇතුළත්ය.
නව ග්‍රීන් කාඩ් නීතිය එම දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තියේ තවත් ප්‍රබල පියවරක් ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වා දෙයි.



