ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් නුවර පැවති වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව බලධාරීහු පවසති. සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂිතව ස්ථානයෙන් ඉවත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වොෂින්ටන් නුවර පිහිටි හිල්ටන් හෝටලයේ මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබී ඇත.
පොලිස් ප්‍රකාශ අනුව, තිස් එක් හැවිරිදි සැකකරු ආරක්ෂක පරීක්ෂා ස්ථානය පසුකර ශාලාව දෙසට දිව යමින් සිටියදී ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව දිග තුවක්කුවක් සහ අනෙකුත් භයානක ආයුධ කිහිපයක් තිබී ඇති බව සඳහන් වේ.
මෙම වෙඩි ප්‍රහාරය අතරතුර ආරක්ෂක අංශයේ එක් නිලධාරියෙකු වෙඩි වැදී තුවාල ලබා තිබුණද, ඔහු පැළඳ සිටි උණ්ඩ රහිත කබාය හේතුවෙන් ජීවිතාන්තර අනතුරෙන් බේරී ඇත. ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව පොලිස් බලධාරීහු කියති. සැකකරු ද තුවාල නොවූවද රෝහල් ගත කර ඇත.
මෙලනියා ට්‍රම්ප් ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී සිටි බව සඳහන් වේ. ට්‍රම්ප් පවසා තිබුණේ මෙම සිදුවීම ඇයට දැඩි සිත් තැවුලක් ඇති කළ බවයි.
මෙය තනි පුද්ගලයකු විසින් සිදු කළ ක්‍රියාවක් බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කර ඇති අතර මහජනතාවට තවත් අනතුරක් සිදුවීමට ඉඩක් නොමැති බව ද අවධාරණය කරයි. සැකකරුට ප්‍රචණ්ඩකාරී අපරාධයක් සිදුකිරීම සඳහා ගිනි අවියක් භාවිතා කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට භයානක ආයුධ වලින් පහරදීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර සැකකරුගේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව බලධාරීහු සඳහන් කරති.


