කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද සිටින බව ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ඇතැම් කොටස්වලට හානි සිදුව ඇති අතර ආසන්නයේ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල කිහිපයකට ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව සඳහන් වේ.
කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාරය “අපරාධමය ඉරාන ආක්‍රමණයක්” ලෙස හඳුන්වා ඇති අතර, සිද්ධියට ප්‍රතිචාර ලෙස ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකුට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස දැනුම් දී තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) මුලදී මෙම ප්‍රහාරය තමන් විසින් සිදුකළ බව පවසා තිබුණද, පසුව ගුවන්තොටුපොළට සිදුවූ හානිය අමෙරිකානු මිසයිල ප්‍රතිරෝධක පද්ධතියක දෝෂයක් හේතුවෙන් ඇති වූ බවට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, මෙය ඉරානය විසින් සිදුකළ සැලසුම්සහගත හා හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් බව අවධාරණය කර තිබේ.
මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර දැනටමත් පවතින ආතතිකාරී සබඳතා තවදුරටත් උග්‍ර කරමිනි. ඉරානය පවසන්නේ අමෙරිකාව විසින් ඉරාන ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.
මේ අතර කුවේට් ගුවන්තොටුපොළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා ඉන්දීය ජාතිකයකු බව තහවුරු කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර තවත් ඉන්දීය ජාතිකයන් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇති බව නිවේදනය කර ඇත.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම අමෙරිකා-ඉරාන සටන් විරාම උත්සාහයන්ට බරපතළ අභියෝගයක් එල්ල කර ඇති අතර, ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ නව අවිනිශ්චිතතාවයක් ද මතු කර ඇති බවයි.



