ආපදා සූදානම, ඔරොත්තු දීමේ හැකියාව සහ ආචාරධර්මානුකූල මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණු පළාතේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ දෙදින ධාරිතා සංවර්ධන වැඩමුළුවක් පසුගියදා(04, 05) ගාල්ල වක්වැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේදී පැවැත්විණ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි, වෙබ් සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු රැසක් සහභාගී වී සිටියහ.
ආපදා අවස්ථාවලදී නිවැරදි හා වගකීම්සහගත තොරතුරු ජනතාවට ලබාදීම, ආපදා අවදානම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, ආපදාවලට මුහුණදීමේ සූදානම වර්ධනය කිරීම සහ සහන හා මුදාගැනීමේ මෙහෙයුම් වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු ආරක්ෂක හා ආචාරධර්මීය ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.
වැඩමුළුවේ පළමු දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උපදේශක නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විද්‍යාඥ ඒ. කේ. ඩී. කෞශල්‍යා මහත්මිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ජේ. එන්. පී. ලියනගම මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් ඒ. ඩබ්ලිව්. කේ. සමරසිංහ මහතා විසින් දේශන හා දැනුම්වත් කිරීම් සිදුකරන ලදී.
දෙවැනි දිනයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජේ. ඩබ්. කරුණාරත්න මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණයේ ලුතිනන් එච්. ජී. එල්. නිම්සර මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් සුනිල් ගාල්ලගේ මහතා සම්පත්දායකයන් ලෙස එක්විය.
මෙහිදී මුහුදු හා ගංවතුර ආපදා අවස්ථාවලදී සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් ප්‍රතිචාරක ආයතන අතර සම්බන්ධීකරණ ක්‍රමවේද, නාවික හමුදා මෙහෙයුම් අතරතුර මාධ්‍යවේදීන්ට ලබාගත හැකි ප්‍රවේශය සහ ඔවුන්ගේ ආරක්ෂාව වැනි කරුණු පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරින.
වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා මාධ්‍ය අධ්යක්ෂ බී. ජී. පී. එන්. දිල්ෂාරි මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් සිදුකරන ලදී.












