ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නවකවද සිදුවීමක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති වීඩියෝ දර්ශන සහ ඡායාරූප සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කරුණු පැහැදිලි කර තිබේ.
2026 නොවැම්බර් 04 වැනිදා නිකුත් කළ නිල නිවේදනයකින් විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නොවැම්බර් 02 වැනිදා පළමු වසරේ සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් අතර ඇති වූ සිදුවීම සිසුන් කණ්ඩායම් දෙකක් අතර පැවති පෞද්ගලික ආරවුලක් බවයි.
එම සිදුවීම නවකවදයක් ලෙස පෙන්වා දීම සඳහා වීඩියෝ දර්ශන තෝරාගත් කොටස් පමණක් ඇතුළත් කර සංස්කරණය කර ඇති බවත්, වෙනස් කරන ලද ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇති බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. එමගින් විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණක් පවතින බව ද නිවේදනයේ සඳහන් වේ.
එසේම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නවකවදයෙන් තොර, ආරක්ෂිත පරිසරයක් පවතින බවත්, පළමු හා දෙවැනි වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවත් පාලනාධිකාරිය අවධාරණය කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිසිය විසින් ද විමර්ශන සිදුකරනු ලබයි. ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය සහ විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



