28.9 C
Galle

දරුවා කාටද?ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම

Published:

වැඩකරන දිනයක සවස් යාමයේ ජපානයේ එක්තරා ක්‍රීඩා පිටියක් අසලට වී, එහි සෙල්ලම් කරමින් සිනාසෙන කුඩා දරුවන් දෙස බලා සිටින ජෝන් ඩෙන්ග්ගේ දෑස්වල පවතින්නේ මහා කාන්සියකි. ඒ සිනාසෙන දරුවන් අතර ඔහුගේ අට හැවිරිදි පුතු හෝ දස හැවිරිදි දියණිය නැත. දරුවන් සමඟ උද්‍යානයට යාම, ඔවුන් උදෑසන අවදි වන දෙස බලා සිටීම වැනි ඕනෑම පියෙකුට සාමාන්‍ය වූ, එහෙත් තමන්ට අහිමි වූ ඒ සුන්දර අතීතය ඔහු දැඩි සේ ප්‍රාර්ථනා කරයි.

හොංකොං හි උපත ලබා පසුගිය වසර 22ක් තිස්සේ ජපානයේ ජීවත් වන ඩෙන්ග්ගේ යුග දිවිය බිඳ වැටීමෙන් පසු, ඔහුගේ හිටපු බිරිඳ විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දරුවන් දෙදෙනා රැගෙන ගොස් ඇත. ඉන්පසු ඩෙන්ග්ට තම දරුවන් වෙනුවෙන් ඉතිරි වූයේ දැඩි නීතිමය සීමාසහිත වටපිටාවක් පමණි.

ජපානය තුළ ඩෙන්ග්ගේ මෙම කතාව අලුත් එකක් නොවේ. දශක ගණනාවක් තිස්සේ ජපාන නීතියට අනුව දික්කසාදයකදී සිදු වූයේ දරුවෙකුට තම මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකු සම්පූර්ණයෙන්ම අහිමි වීමයි. බොහෝ විට දික්කසාදයේදී දරුවන් මුලින්ම තමන් සන්තකයට ගන්නා පාර්ශ්වයට නිතැතින්ම දරුවාගේ භාරකාරත්වය හිමි විය.

පැරණි ‘තනි භාරකාරත්ව’ (Sole Custody) ක්‍රමයේ අඳුරු පැත්ත

ජපානයේ පැවති පැරණි සිවිල් නීතියට අනුව, දෙමාපියන් වෙන් වූ පසු දරුවාගේ නීතිමය අයිතිය හිමි වූයේ එක් අයෙකුට පමණි. අනෙක් පාර්ශ්වයට දරුවා සමඟ ඇති සබඳතාව කෙතරම් යහපත් වුවද, භාරකාරත්වය හිමි පාර්ශ්වයේ අනුමැතියකින් තොරව දරුවා දැකීමට හෝ කතා කිරීමට ඔවුන්ට අවස්ථාවක් හිමි වූයේ නැත.

ජපාන සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ දත්තවලට අනුව, 2024 වසරේදී පමණක් ජපානයේ විවාහයන්ගෙන් 38.5%ක් (දළ වශයෙන් තුනෙන් එකක්) දික්කසාදයෙන් කෙළවර වී ඇත. එම වසරේදී වෙන් වූ ජෝඩුවලින් 86%කට වඩා වැඩි ප්‍රමාණයක දරුවන්ගේ අයිතිය මව්වරුන්ට හිමි වූ අතර, සමස්ත ජපානය පුරා වයස අවුරුදු 18ට අඩු දරුවන් 164,000කට අධික පිරිසක් මෙම භාරකාරත්ව ගැටලුවලට සෘජුවම මුහුණ දී තිබේ. ලොව දියුණුතම රටවල් හෙවත් G7 කණ්ඩායමේ රටවල් අතරින් දික්කසාදයෙන් පසු ‘හවුල් භාරකාරත්වය’ (Joint Custody) පිළි නොගත් එකම රට බවට පත්ව තිබුණේ ද ජපානයයි.

කෙසේ වෙතත්, ටෝකියෝ නුවර සෙටගායා ජාත්‍යන්තර නීති කාර්යාලයේ පවුල් නීතිඥ සෙයියා සතෝ පවසන්නේ, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල නීතිඥයන් සැමවිටම අවධානය යොමු කරන්නේ දෙමාපියන්ගේ දිනුම හෝ පැරදුම ගැන නොව, දරුවාගේ උපරිම යහපත (Best interest of children) වෙනුවෙන් පමණක් බවයි.

ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම

වසර ගණනාවක විවාදයකින් පසු, ජපාන පාර්ලිමේන්තුව විසින් 2024 වසරේදී අනුමත කරන ලද සිවිල් නීති සංශෝධනය, පසුගිය 2026 අප්‍රේල් 01 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක විය. මෙමඟින් දික්කසාද වූ දෙමාපියන් දෙදෙනාටම තම දරුවන්ගේ භාරකාරත්වය සමව බෙදා ගැනීමට (Joint Custody) නීතිමය අවකාශය උදා කර දී තිබේ.

මෙම නව නීතිය මඟින් දරුවෙකුට මව සහ පියා යන දෙදෙනාගේම ආදරය හා රැකවරණය අඛණ්ඩව ලැබීමට ඇති අයිතිය තහවුරු කරන අතර, තනි මාපියන් මුහුණ දෙන මූල්‍යමය හා සමාජීය බර අඩු කිරීමට ද උපකාරී වේ. විශේෂයෙන්ම ජපානයේ උපත් අනුපාතිකය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින වටපිටාවක, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගත් වැදගත් පියවරක් ලෙස මෙය සැලකේ.

මෙම නව ‘හවුල් භාරකාරත්ව’ (Joint Custody) සංකල්පය මඟින් සැබවින්ම සිදුවන්නේ “දරුවා දෙකට බෙදීමක්” නොව, දරුවා පිළිබඳ නීතිමය අයිතිවාසිකම් සහ වගකීම් දෙමාපියන් දෙදෙනා අතර සාධාරණව බෙදාගැනීමයි. ඒ අනුව, දරුවාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය තීරණ, පාසල් මාරු කිරීම, විදේශ ගමන්, ආගමික හා ජීවන තීරණ මෙන්ම මූල්‍ය සහ රැකවරණ වගකීම් වැනි සෑම ප්‍රධාන කරුණකදීම මව සහ පියා යන දෙදෙනාටම එකසේ නීතිමය බලය සහ වගකීම හිමි වේ.

කෙසේ වෙතත්, දරුවා සාමාන්‍යයෙන් එක් නිවසක ප්‍රධාන වශයෙන් ජීවත් වන අතර, අනෙක් දෙමාපියන්ට දරුවා හමුවීමට, නිවාඩු කාලය එක්ව ගත කිරීමට මෙන්ම දුරකථන හෝ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගැනීමට ඇති අයිතිය නීතියෙන් තහවුරු කරනු ලබයි. උදාහරණයක් ලෙස, දරුවා ප්‍රධාන වශයෙන් මව සමඟ ජීවත් වුවද, පියාට සති අන්තයේදී දරුවා හමුවීමට මෙන්ම දරුවාගේ පාසල් හා වෛද්‍ය තීරණවලට සෘජුවම දායක වීමට නීතිමය අයිතිය ලැබේ.

ඒ අනුව, “දරුවා එක් දෙමාපියෙකුට පමණක් අයිති වස්තුවක්” යන පැරණි පටු අදහස වෙනුවට, වෙන් වූවද දරුවාගේ වර්ධනය සඳහා දෙමාපියන් දෙදෙනාගේම දායකත්වය අත්‍යවශ්‍යයි යන උදාර සංකල්පය නීතිමය වශයෙන් පිළිගැනීම මෙම නව නීති සංශෝධනයේ මූලිකම අරමුණ වී තිබේ.

කාන්තා සංවිධාන සහ වින්දිතයන්ගේ බිය, කාසියක අනෙක් පැත්ත

මෙම නීතිමය වෙනස ඩෙන්ග් වැනි දරුවන් අහිමි වූ දෙමාපියන්ට මහත් බලාපොරොත්තුවක් ගෙන දුන්නද, සමාජයේ තවත් පාර්ශ්වයක් මේ දෙස බලන්නේ දැඩි බියකින් සහ සැකයෙනි.

විශේෂයෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට (Domestic Violence) සහ දරුවන් අපයෝජනයට ලක්කිරීම්වලට සම්බන්ධ පවුල්වල වින්දිතයන් පවසන්නේ, හවුල් භාරකාරත්ව නීතිය නිසා තමන්ට අතවර කළ හිටපු සහකරුවන් සමඟ නැවතත් බලහත්කාරයෙන් සම්බන්ධතා පැවැත්වීමට සිදුවනු ඇති බවයි.

“ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් හෝ ළමා අපයෝජනයෙන් පීඩා විඳින අයට මෙයින් මිදී පලා යාමට ඇති අවස්ථාව මේ නීතිය නිසා අහිමි වීමේ අවදානමක් පවතිනවා.” – චිසතෝ කිතනකා (සම-සභාපති, සමස්ත ජපාන කාන්තා රැකවරණ නිවාස ජාලය)

සිය සැමියාගෙන් දරුණු ලෙස ගුටි බැට කා බේරුණු මවක් පවසන්නේ, තමන්ට තනි භාරකාරත්වය ලැබුණු පසු ජීවිතය සුරක්ෂිත යැයි සිතුවද, නව නීතිය යටතේ ඇයගේ හිටපු සැමියාට නැවතත් 15 හැවිරිදි දියණියගේ භාරකාරත්වය ඉල්ලා අධිකරණයට යාමට මඟ පෑදෙනු ඇති බවයි. ඇය පවසන්නේ සැමියා තමන්ට පහර දුන්නේ ශරීරයේ තුවාල කැළැල් ඉතිරි නොවන පරිදි සූක්ෂ්ම ලෙස බැවින්, අධිකරණය ඉදිරියේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඔප්පු කිරීමට ස්ථිර සාක්ෂි නොමැති වීම තමන් මුහුණ දෙන ලොකුම ගැටලුව බවයි.

නීතිමය ආරක්ෂාවන් සහ අනාගත සමබරතාව

කෙසේ වෙතත්, මෙම ගැටලුවලට නීතිමය විසඳුම් පවතින බව නීතිඥ සෙයියා සතෝ පෙන්වා දෙයි. දික්කසාදයට පෙර පවුල තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් හෝ දරුවාගේ මානසික හා ශාරීරික සුවතාවයට හානියක් සිදුව ඇති බව අධිකරණයට ඒත්තු ගැන්වුවහොත්, එහිදී අනිවාර්යයෙන්ම ‘තනි භාරකාරත්වය’ (Sole Custody) ලබාදීමට විනිසුරුවරුන්ට බලය පවතී.

ජපානයේ මෙම නව නීතිමය පෙරළිය දැනට පවතින්නේ අතිශය සංවේදී සමබරතාවයක් මතය. එනම්, අහිංසක වින්දිතයන් ආරක්ෂා කරගැනීම සහ දරුවෙකුට දෙමාපියන් දෙදෙනාගේම අයිතිය ලබාදීම යන අන්ත දෙක මැදයි. කෙසේ වෙතත්, ක්‍රීඩා පිටිය දෙස බලා සිටින ඩෙන්ග් වැනි පියවරුන් පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ තම දරුවන්ගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කොටස්කරුවෙකු වීමට පමණක් බවයි. “භෞතිකව ඔවුන් මා ළඟ නොසිටීම මාව මහත් සේ රිදවනවා. ඒක කිසිම මාපියෙකුට වෙන්න ඕන දෙයක් නෙවෙයි,” ඔහු පවසයි. ජපානයේ නව නීතිය දහස් ගණනක් වූ එවැනි දෙමාපියන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

Related articles

spot_img
error: Content is protected !!